අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
නුවර දේශනාවට දින දෙකකට පෙර මහාසත්ව බෝධි සත්ව බෝධිසත්වයන් විසින් ප්‍රාතිහාර්ය පිළිබඳව ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහාගුරු මෙසේ පවසා සිටියා.
“මේ බුද්ධ විෂයය තුළින් ඔබට, මේ සියලු බුදුවරුන්ට අවසර තියෙන්නේ ඥානයෙන් ප්‍රාතිහාර්ය පාන්න විතරයි. භෞතිකත්වයෙන් ප්‍රාතිහාර්ය පාන්න අවසරයක් නෑ. මොකද සත්වයා භෞතිකත්වය තුළ මුළාවට පත්වෙලා ඉන්න කොට තවත් භෞතිකත්වයක් දීලා භෞතිකත්වය තුළ ගැට ගසන්නට ඕනා නෑ. සත්වයා භෞතිකත්වයක් තුළ ගැට ගැසිලා ඉන්නේ. ඒ නිසා සත්වයා ගැට ගසන්න ඕනා ඥානයක්, බුද්ධියක්, නිවැරදි කල්පනාවක්, නිවැරදි ධර්මතාවයක් මත පමණයි. ඒ සඳහා අවශ්‍ය ඥානය ඔබ මාව අනුගමනය කරනකොට, මා කරන කියන දේ දිහා බලන් ඉන්න කොට ඔබටත් ලැබෙනවා. ඥානය, බුද්ධිය, කුසලතාවය, ඉවසීම, සංහිඳියාව, නිහතමානිත්වය, flexibility බව කියන ධර්මතා ඔබ සියලු දෙනාම ගොඩ නඟා ගන්න ඕනා.”
මේ අතර මහාගුරු සෙන්ටර් එක විසින් නුවර නගර සභා ශාලාව මහාගුරුගේ දේශනාව සඳහා උත්කර්ෂවත් ලෙස සකස් කර තිබුණා. මහාගුරු විසින් වෙසක් මස පවත්වන දේශනාවන් හිදී ප්‍රාතිහාර්යය පාන බවට පොළව මත අත තබා දිවුරා ප්‍රකාශ කොට තිබුණා.
නුවර දේශනාව සඳහා හත්සියයක පමණ පිරිසක් අසුන්ගෙන සිටියා. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙක් ද සිටියා. ඒ පිළිබඳව කළින් දැනුවත් වී සිටි මහාගුරුගේ හිතවතුන් පිරිසක්, භාෂාව නොදන්නා කෙනෙක් චතුරාර්ය ශක්තිය දේශනාවකට සම්බන්ධ වුණොත් ඒ අයට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා ප්‍රශ්නයක් මහාගුරුගෙන් අසා තිබුණා. චතුරාර්ය ශක්තිය දේශනාවකට කෙනෙක් අසුන්ගෙන සිටියත් ඇති කියලා මහාගුරු පිළිතුරු දීලා තිබුණා. චතුරාර්ය ශක්තිය දේශනාවක් බොහෝ විට කෙනෙක්ට තේරුම් ගන්න බෑ. මොකද ඒ දේශනාව සිදුවන විට ඇති වන කම්පන ප්‍රබලත්වය නිසා, චතුරාර්ය ශක්තිය හරහා බුදුවරයා එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා මනස සමහරවිට වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් එවැනි දේශනාවකට කෙනෙක් සම්බන්ධ වුණොත් ඔහු හෝ ඇය අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත්වනවා දේශනාව තේරුම් නොගත්තත්. සතියකට පමණ පෙර පවත්වන ලද යක්කල දේශනාවේදී එවැනි චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදුවෙලා තිබුණා. ඒ නිසා හාරසීයක් පමණ සම්බන්ධ වුණු ඒ යක්කල දේශනාව තුළ දී එක්තරා අන්දමක මහා ප්‍රාතිහාර්යයක් මේ වන විටත් සිදු වී තිබුණා.
මහාගුරු වැඩමවීමෙන් පසු නුවර නගරසභා ශාලාවේ දේශනාව ආරම්භ වුණා.
හොඳයි, මගේ ආදරණීය වාසනාවන්ත කල්‍යාණ මිත්‍රවරුනි. මම දන්නවා මෙම වැඩසටහනට ගාල්ල මාතර බදුල්ල වගේ ප්‍රදේශ වලින් මෙන්ම විදේශීය රටවල්වල ඉඳන් පවා සහභාගී වෙලා ඉන්නවා. මට හම්බුනා නෙදර්ලන්තේ සිට පැමිණිලා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතික හිතවතුන් පිරිසක් ද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මට ආරංචි වුණා.
අපි මේ සසර ගොඩක් පාරවල් වල ගියා. ජීවිතේම චාරිකාවක්. ඔබේ මේ ජීවිත ගමනේ එක්තරා සන්ධිස්ථානයක් බවට අද මේ මොහොත පත්වෙමින් තිබෙනවා.
මෙතන ඉන්න පිරිසෙන් හරි අඩක් මම දැකල නැතුව ඇති වගේම හරි අඩක් සමහරවිට මාව හම්බෙලා ඇති. කොටසක් මාව හොඳටම දන්නවා ඇති. ඒ විතරක් නෙමෙයි කල්‍යාණ මිත්‍රවරුනි, අද දම්සභා මණ්ඩපය තුල මට විශාල අභියෝගයක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි, මෙතන ඉන්නවා රහත් මට්ටමේ ප්‍රඥාව තියෙන අය. ඒ වගේම දහමේ කිසිම දෙයක් දන්නේ නැති අයත් අද මෙතන ඉන්නවා. අඩුම තරමේ පින පව කියන එකවත් මොකක්ද කියන එක දන්නේ නැති අය මෙතන ඉන්නවා.
සාමාන්‍යයෙන් මම පැය දෙකයි ධර්මය දේශනා කරන්නේ. නමුත් මම අද පැය හතරම භාවිතා කරනවා. ඒ තුළින් මේ සමස්තයම, පුංචි තැනේ ඉඳන්, ඉහළම තැන දක්වා ක්‍රමානුකූලව සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පින සහ පවේ ඉඳලා මල් පහන් පුදන තැනේ ඉඳන් මා අද කතා කරනවා.
ඔබ කොච්චර දන් දීල තියෙනවද, ඔබ කොච්චර පින්කම් කරල තියෙනවද, කොච්චර බණ අහල තියෙනවද, ඔබට තාමත් මේකෙන් නිවීමක් ගැලවීමක් හම්බවුණේ නැද්ද කියලා මම අහනවා. ඒ පණිවිඩයත් එක්ක තමයි ඔබව මෙතනට මම කැඳවන්නේ. ආරාධනා කරන්නේ.
මෙතන ඉන්දියාවේ ඉදලා පැමිණි කීපදෙනෙක් ඉන්නවා. ඒ අයට භාෂාව නොතේරුනත් අපි එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ සියලුම කල්‍යාණ මිත්‍රයෝ වෙනුවෙන් පුංචිම තැනේ ඉඳන් සමස්තය කතා කරමින් ඔබේ හිතන විදිහ මම වෙනස් කරන්න උත්සාහ කරනවා. ඔබ එද්දිම වීදුරු දෙකක් තියලා වීදුරුවේ මාරයා කියලා ගහලා තිබ්බා ඔබ දකින්න ඇති නේද?
මොකද හිතුනේ? පුංචි කමටහනක් එතන තියලා තිබුණේ.
එතනින් එද්දි මටත් ඒ කමටහන ක්‍රියාත්මක වෙනවා. ඒ කණ්ණාඩිය ගාව හිට ගත්තහම ඔබට කී දෙනෙක් පෙනුනද එකෙන්. එක්කෙනෙක්ද? දෙන්නෙක්ද? ඒ වීදුරු දෙකෙන් ඔබට ඔබේ රූපය කී තැනකින් පෙනුනද? ඔහුව කී තැනකින් දැක්කද? එතන වීදුරු දෙකක් තිබුණනේ. අපි හිතමු වම් පැත්තේ තිබෙන වීදුරුවෙන් ඔබට ඔබව පේනවා. මැද හිටියොත් දකුණු පැත්තේ වීදුරුවෙන් පෙනෙනවා. ඒ වීදුරුවල ගහලා තිබුණේ මාරයා කියලා. ඒ වීදුරු දෙකෙන්ම පෙනෙන්නේ මාරයා. හැබැයි කල්‍යාණ මිත්‍රවරුනි ඒ වීදුරුවෙන් බලනකොට ඔය කට්ටියට කැඩපතෙන් ඔබව පෙනෙනවා නම් මම ඔබට දුන්න කමටහන සාර්ථකයි. එහෙම නැත්නම් යද්දි අමතක කරන්න එපා කන්නාඩිය දිහා පොඩ්ඩක් බලන ගමන්, බලාගෙන ඉන්න කෙනා දිහා පෙනෙන කෙනා දිහා පොඩ්ඩක් බලන්න.
මම මේ බණ කියද්දි, මේ දේශනා කරන ධර්මය අසාගෙන ඉන්නේ මාරයා. මේ බණ මේ කතා කරන දේ අහන්නේ මාරයා තමයි. අර කණ්ණාඩියෙන් දැක්ක මාරයාම තමයි. මාරයා නොවී අහන්නේ කොහොමද? මේ ධර්ම දේශනාව කරද්දී, දේශනා කරන දේ පැහැදිලි කරද්දී, ඔබේ සිත දෙස බලාගෙන ඔබ දෙස බලාගෙන ධර්මය ශ්‍රවණය කරන්න පුලුවන් නම්, ඔබ දෙස බලාගෙන ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් නම් එය අහන්නේ මාරයා නෙමෙයි. අන්න ධර්මය දකිනවා. ධර්මය දකින්නා මා දකී කියලා කිව්වනේ. ඔබව දකින්න. ඔබ දෙස බලාගෙන අහන්න.
අපේ කල්‍යාණ මිත්‍රයා මට ආරාධනා කරනවා මහාගුරු කියලා. මම මට කියන්නේ මහාගුරු කියලා නෙවෙයි. මම ඉදිරිපත් කරන concept එක, එනම් සංකල්පය, එහෙමත් නැත්නම් model එකක් තමයි මහාගුරු කියන්නේ. එහෙම නැතිනම් මහාගුරු කියලා හඳුන්වනකොට මම ගුරු කියලා තොප්පියක් දාගෙන නැහැ. අර වීදුරුවෙත් මහාගුරු කියන ධර්මතාවය තිබුණා. මෙතන ඉන්න සියල්ලෝම මගේ ගුරුවරු. මෙතන ඉන්න ඔක්කොම මගේ කල්‍යාණ මිත්‍රයන් ටික මේ සසරේ මොනවා හරි දෙයක් මම ඔබෙන් ඉගෙනගෙන තියෙනවා. එහෙම නැත්නම් නම් සියල්ල මා ගුරු කරගන්නවා. ඒ සියල්ල ගුරු කරගෙන ආපු නිසා, මම ඔබට හැම තැනම ගුරු කියන ධර්මතාවයක් පෙන්නනවා. මේ පුවක් කෑල්ලේ ධර්මතාවයක් දකින්න පුළුවන්. චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කෑල්ලක කුණු ටිකක් දැකල රහත් උනා වගේ මා ඔබගෙන් අහනවා, ඔබට පාරමි පුරන්න පුළුවන්ද?
ඔය ජීවිතයම පාරමිතාවක් කියන එක ඔබට ඔලුවට එන්නේ නෑ. අද වැස්සෙම ඇවිල්ලා පුටුවේ වාඩිවෙලා ඉන්න එකම පාරමිතාවක් කියන එක ඔබලාගේ ඔලුවට එන්නේ නැහැ. සතුන්ට පාරමී පුරන්න පුළුවන්ද? ගෞතම බුදුන් වහන්සේ පන්සිය පනස් ජාතකය තුළ ඇතෙක් වෙලා පාරමී පිරුවේ නැද්ද? වඳුරෙක් වෙලා පාරමී පිරුවේ නැද්ද? නයෙක් වෙලා පාරමී පිරුවේ නැද්ද? එහෙනම් සතෙක් වෙලත් පාරමී පුරන්න පුළුවන්. මතක තියාගන්න. සතෙක් වෙලත් පාරමී පුරන්න පුළුවන් පුණ්‍ය භූමියක් ධර්ම මාර්ගයක භූමියක් මේක. හැබැයි කල්‍යාණ මිත්‍රවරුනි, අපිට මනුෂ්‍යයෝ වෙලා බෞද්ධ රටක ඉපදිලා බුදු දහමේ ඇවිල්ලා බුදු බණ අහලා අකුරු කියවන තැන ඉඳලා, දරුවෙක් මව්කුස පිළිසිඳ ගත්ත තැන ඉඳලා, පිරිත් නූල ගැට ගහලා, පිරිත් කියලා, මළ ගෙදර දක්වාම මේ බුද්ධ දර්ශනය අපේ ජීවිතයට ඈඳෙනවා. පාංශුකූලයේදී පවා සම්බන්ධ වෙනවා. හැබැයි අපිට මගහැරුණු තැන් තියෙනවා. මා උත්සාහ කරනවා අපට මග හැරුණු හැමතැනම පෙන්වා දෙන්න. අපට අපගේ ජීවිතයම පාරමිතාවක්. අපි ජීවිතේ පාරමී භූමියක් කියන දේ අපිට හිතන්නේ නැහැ. හිතිලා නැහැ. ඔබ ජීවිතේ කන කට්ට, ජීවිතයේ දුක, ජීවිතයේ දරන බර, දරුවන්ගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න මේ හැම දේ තුළම ඔබට පාරමි පුරන්න බැරිද? අපිට පාරමී පුරන්න පුළුවන්. එහෙනම් එතෙනට පැමිණි ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා එන්න පාරමී දැන් ඔබ වාඩිවෙලා ඉන්නේ පාරමී භූමියේ. පාරමී ආසනයේ. හිතන්න මේක පාරමිතාවක්. අද උදේ මම පාරේ එද්දි අම්මාලා දෙනෙක් හම්බවෙනවා. එයාලා ගාල්ලේ ඉන්නේ. කොහෙද මෙහේ කියලා ඇහුවහම අපි ගාල්ලේ ඉඳන් ආවා බණ අහන්න කියලා කිව්වා. අද මෙතන නතර වෙලා බණ අහලා යනවා කිව්වා.
වෙසක් දවසට කලින් දවසේ කෙනෙක් ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ මට සල්ලි තිබ්බේ නැහැ. ලංකාවට එන්න නිවාඩුත් නැහැ. මම අවුරුද්දේ තියෙන සියලුම නිවාඩු ටික අරගෙන ඇවිත්, තාමගෙදර ගියෙත් නැතුව ලංකාවට ආපු ගමන්ම මේ වැඩසටහනට ආවා කියලා. ඒ ජීවිතය පාරමිතාවක් නෙවෙයිද?
පසුගිය සතියේ යක්කල වැඩසටහනේදී, මම මේ පුටුව ගැන කියනවා. එක අම්මා කෙනෙකුයි දුවෙකුයි මට මේ පුටුව හදලා පූජා කරනවා. මහ ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත පාරමිතාවක්. ඔබගේ ජීවිතය පාරමිතාවක්. ඔය ජීවිතේ ඔබට වැරදුනු තැන් නැහැ. වැරදුනා කියලා හිතෙන්නේ ඔබ ඒක ගුරු කරගත්තේ නැති නිසා. ඒ නිසා ඕනම දෙයක් ගුරු කර ගත්තා නම් හරි.
ඔබ තම තමන්ගේ පාරමී භූමිවල, තම තමන්ගේ පාරමී ආසනවල වාඩිවෙලා ඉන්නේ, එක්කෝ රහත් වෙන්න, එහෙමත් නැත්නම් පසේ බුදුවෙන්න, එහෙමත් නැතිනම් මහරහත් වෙන්න, එහෙමත් නැත්නම් සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කුමක් හෝ මේ සසර ඉවරයක් වෙනුවෙන් තමන්ගේ පාරමී භූමියේ පාරමී අසුනක පාරමී ජීවිතයක කොටසක මේ මොහොතේ ඔබ ඉන්නවා.
අපගේ මහ බෝසතා ආපු ගමන් මාර්ගය තුළ සතෙක් වෙලත් පාරමී පිරුවා. එහෙනම් ඔබට පුළුවන්. මොකද මහ බෝසතාණන් කරලා පෙන්නලා තියෙනවා. කොහොමද පාරමී පුරන්නේ?
බුදු දහමේ එක්තරා ගැඹුරු තැනක් තියෙනවා. ඒ එක්තරා ගැඹුරු තැන තමයි සෝවාන් වෙන්න, සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න, බුදුවෙන්න, පසේබුදුවෙන්න හෝ මහරහත් වෙන්න නම් ඒ කෙනා මනුස්සයෙක් වෙන්න අවශ්‍යයි. නමුත් පාරමී පුරන්න එහෙම ඕන නැහැ. සතෙක් විදිහටත් පාරමී පුළුවන්න පුළුවන්. එහෙනම් මේ ගමන මේ මනුෂ්‍ය උප්පත්තියෙනුත් එහාට යන්න පුළුවන්.
පාරමී පුරන්න පටන් ගන්න පළවෙනි තැන මොකක්ද? මේ ධර්ම දේශනාව සරලම තැන ඉඳලා ක්‍රමානුකූලව අරන් යන්න වෙනවා. පාරමී පුරන්න පුළුවන් සරලම තැන තමයි සතෙක් වෙලා හරි, තිරිසනෙක් වෙලා හරි, මොකෙක් හරි වෙලා, ඔබට ඔබ තුළ අතහැරීමේ ගුණය හැදෙන්න ඕනා. ඉවසීම කියන්නේ අතහැරීමක්. සිතුවිල්ල අතහරින්න පුළුවන්. මතකය අතහරින්න පුළුවන්. හිතපු දේ අතහරින්න පුළුවන්.
අපි ගොඩක් පල්ලෙහාට එමු. සතා කියන තැන ඉඳන් ඔබට අතහරින්න පුළුවන් වෙන්න ඕනා. ඒකයි දාන පාරමිතාව. මේ මොහොතේ ඔබලාගේ ජීවිතයේ කාලය අතහැරලානේ තියෙන්නේ. ජීවිතයේ කාලය අතහැරලා ඔබ ඔය පුටුවේ වාඩිවෙලා ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට ඒක පාරමිතාවක් විදියට පෙනෙන්නේ නැහැ. මේ මොහොතේ මම දන්නවා, අනුරාධපුරේ ඉඳලත් ආවා. ඒකට කාලය ධනය සියල්ලම වියදම් පැහදම් කරගෙන ආවේ. ඒක පාරමිතාවක් නෙමෙයිද? ඒක පාරමිතාවක් නමුත් ඔබට ඒක පෙනෙන්නේ නැහැ.
ඔබ කටින සිවුරු පූජා කරලා නැද්ද? සිවුරු පූජා කරලා නැද්ද? දන් දීල නැද්ද? මේ ජීවිතයේ ඔය පුටුවේ වාඩි වෙනකම්ම මේ මොහොත දක්වාත් ඔබේ ජීවිතයේ සමස්තය තුළ ඇත්තේ අතහැරීමක් නෙමෙයිද? සමස්තය තුළම තියෙන්නේ අතහැරීමක්. ඒ කියන්නේ අතහැරෙනවා කියන එක ස්වභාවයක්. අල්ලන්න බැහැ මුකුත්. සියල්ල අතහැරෙනවා. ජීවිතය අතහැරෙනවා. කාලය අතහැරෙනවා. ධනය, තමන් හිතාගත්ත දේ, මතකය, දැනුම මේ සියල්ලම අතහැරෙනවා. මම ඔබට තව පුංචි දෙයක් කියනවා. ඔබ මෙච්චර කාලයක් බණ වලින් ඔලුව පුරෝගත්තානේ. සම්මා දිට්ඨිය කියන්නේ මේක, අනිත්‍ය කියන්නේ මේක, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ මේක, චතුරාර්ය සත්‍ය කියන්නේ මේක, හේතුඵල ධර්මය කියන්නේ මේක, ආදී ලෙස ඔලුව පුරවගෙන තියෙන්නේ. මුළු ත්‍රිපිටකයම දන්නවා. කරණීය මෙත්තා සූත්‍රයේ ඉඳන් දන්නවා. මොනවම හරි දෙයක් දන්නවා. හැබැයි මම ඔබට අද මේ දන්නවා කියන කෑල්ලක් නෙමෙයි දෙන්නේ. ඒකයි මම කිව්වේ තමන් දිහා බලාගෙන අහන්න නැත්නම් මාරයාට අහුවෙනවා. මම අද ඔබගේ ඇතුලේ තියෙන දේවල් එළියට ඇදලා දාන එකක් කරන්නේ. ඒක හරි කියලා පිළිගන්න එපා. පැත්තකින් බලන්න. මොකක්ද මේ කියන්නේ, මොකක්ද මේ වෙන්නේ, කියල පැත්තකින් ඉඳන් හිමීට බලන්න. එතකොට ලස්සනට මේ පෙරහර පෙනේවි. බලන්න ඔබගේ ඉතිහාසය දිහා. තමන්ගේ ජීවිතේ මේ මොහොත දක්වා සමස්තයම අතහැරීමක් නෙවෙයිද? ඔබ නිවන් දකින්න අවශ්‍යයි කියලත් ගොඩක් දේවල් අල්ලගත්තනේ. දන් දෙනවා කියන්නේ අතහැරීමක්. හැබැයි සමහරු දන් දීල පින් බලාපොරොත්තු වෙනවා. දන් දීල පින් බලාපොරොත්තු වෙනවා කියන්නේ අතහැරීමක් නෙවෙයි. ඒක අතහැරීමක් නෙවෙයි දීල රැස්කිරීමක්. එවැනි මාර්ගයක කිසිම තැනකදී ඔබට ගැලවීමක් හම්බවෙන්නේ නැහැ. ඔබ දීලා නැහැ. නමුත් ඔබට නොදී ඉන්න පුළුවන්ද? ඔබට කාපු දෙයක්වත් තියාගන්න පුළුවන්ද? බැහැනේ. මල පහවෙලා පොහොර වෙලා යනවානේ. බොන වතුර ටික නැවත මහ පොළොවට එකතු වෙනවනේ. මේ පොළොවට අපි දාන මුත්‍රා නැවත වතුර වෙලා අපිට පෙවිලා නැද්ද?
එතකොට සමස්ත ජීවිතයම අතහැරෙන එකක් නෙවෙයිද කියල බලන්න. අතහරින්න අවශ්‍ය නැහැ. ඇයි? අතහරින්න මොනවද තියෙන්නනේ? අතහරින්න බැහැ අතහැරෙනවානේ. කොච්චර සල්ලි හම්බ කරලා ඇද්ද? කොච්චර කාල තියෙනවද? බෙහෙත් කොච්චර බීලා තියෙනවද? කොච්චර ඉගෙනගෙන තියෙනවද? නමුත් මොකුත් නැහැනේ අන්තිමට. මේ ජීවිතය කියන්නෙම අතහැරෙන එකක්. සිතිවිලි, බලාපොරොත්තු, අරමුණු මේ සියල්ලම එහෙමයි. ඔබ දුක් මහන්සි වෙලා, දරුවෝ හදලා, හොඳට උගන්නලා, දරුවෝ අතහැරලා දාන්න වෙනවනේ. ඒ දරුවෝ කොහේ හරි යනවා, එක්කෝ පවුල් වෙනවා, නැතිනම් මරණයෙන් හරි මේක කෙළවර වෙනවනේ. අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. පොඩ්ඩක් හිතන්න සමස්තයම අතහැරීමක් නම්, මේ අතහැරෙන එක තුළ අල්ලගන්න යන්න එපා. රැස් කරන්න යන්න එපා. වර්තමානයේ සමාජ මාධ්‍යවල අපි කතාවක් අහනවනේ, බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හළ තැන, අපි සියල්ල ප්‍රාර්ථනා කරනවා කියලා.
මම ඔබට ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම බණ කියන්නේ. ඔබ සියල්ල අතහැරෙන බව, අතහැරීම කියන මේ විශ්වය ධර්මතාවය පිළිගත්තොත්, එය අනුමත කළොත් ඔබට සියල්ල ලැබෙනවා. ඔබට පුංචි රහසක් කියන්නම්. ඊයේ රාත්‍රියේ මගෙත් එක්ක කල්‍යාණ මිත්‍රයන් කීපදෙනෙක් හිටියා. ඒ කල්‍යාණ මිත්‍රයෝ ටික කියනව අපි සියල්ල අතහැරලා දාල ඉන්නේ කියලා. ජීවිතේ කාලය ගෙවා ගන්න විදියක් නෑනේ. අපි සියල්ල අතහැර දාලා ඉන්නේ. නමුත් අපිට කිසිම දේකින් අඩුවක් නෑනේ. කොහෙන් එනවද දන්නේ නැහැ. අඩුවක් නෑනේ කියලා.
මා මේ කියන දේ ඔබලාට වැටහේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා අද මේ දන් දීලා පින් රැස් කරනවා කියන වැඩේ අවසන් කරනවා. මේ කියන එක තේරුම් ගන්න. අපි හිතමු කෙනෙක් ඇවිල්ලා මට දානයක් දෙනවා. මම මොකද කරන්නේ? මං පින් සිද්ධ වෙච්චාවේ කියලා කියනවා. තව කෙනෙක් ඇවිල්ල මට ලක්ෂයක් දෙනවා, මම කියනවා පින් සිද්ධ වෙච්චාවේ කියලා. තවත් සිවුරක් අටපිරිකරයක් දෙනවා, මම පින් දෙනවා. නමුත් ඇත්තටම වෙන්නේ එයා දුන්නු නිසා, එයා අත්හළ නිසා එයාට ලැබෙනවා. දැන් මේ බෝතලයේ වතුර අයින් කරා. බෝතලය හිස් වුනාද? නැහැ ඉතුරු අඩුවට වාතය පිරුනා. ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතාවයක්. අස්වෙන්න වෙන්න පිරෙනවා.
මේ බෞද්ධයන්ට බුදු දහමේ තියෙන දානය කියන එක තාම තේරෙන්නේ නැහැ. ඔය ජීවිතේම කියන්නේ අතහැරීමක් නම්, අතහැරෙන දෙයක් නම්, ඔබේ මුළු ජීවිතේම ඔබට දන් නොදී ඉන්න පුළුවන්ද කියන්න. බෑනේ. වාහනයක් ඉස්සර කරනකොට හෝන් ගහනකොට මනුස්සයෝ බනිද්දි අපිට හැම වෙලේම මේ සිතුවිලි තියාගන්න බැහැනේ. මතක තියාගන්න බැහැනේ. බලාපොරොත්තු තියාගන්න බැහැනේ. මොනවද තියාගන්න පුළුවන්. මුකුත් තියාගන්න බැහැනේ. සියල්ලම අතහැරෙනවානේ. එහෙනම් ඔබේ සමස්ත ජීවිතය කියන්නේ දන් දීමක් නේ. කන ටිකවත් තියෙනවාද? නැහැනේ. ජීර්ණය වෙලා මල පහ වෙලා යනවා. ඒකවත් තියෙන්නේ නැහැනේ. සමස්ත ජීවිතයම දන්දීමක් නේ. සමස්ත ජීවිතයම දන් දීමක් කියලා දැක්කොත්, සමස්ත ජීවිතයම දන් දීමක් කියලා ඔබ පිළිගත්තොත්, ඔබේ ජීවිතය තුළ දාන පාරමිතාව ගොඩනැගෙන්නේ නැද්ද මහා ශක්තියක් විදිහට. හරියට කෝච්චියක් කොච්චි පාරක යනවා වගේ මුළු ජීවිතයම දාන පාරමිතාවක් නේ. අතහැරලා සමස්තය දන් දීලා ජීවත් වෙන්න.
ගෙදර ගියොත් ගෙදර පාවිච්චි කරන්න. සතුටින් ඉන්න. අතහැරලා ජීවත් වෙන්න. මම ඒ දේ මේ මොහොතේ ඔබට කරලා පෙන්නලා තියෙනවා. ඒ මගේ ජීවිතය ධර්ම මාර්ගය නෙවෙයි. මට මේ වැඩසටහනට ඔබට වාහනයක් යවන්න බැරි වෙච්ච එක විතරයි සිද්ධ වුණේ. ඔබට පුළුවන් විදියට පණිවිඩේ යවලා, මේ සියල්ලම ඔබට දෙන්න, අපේ පිරිසක් මෙතනට එකතුවෙලා ඔබ වෙනුවෙන් මොනවද නොකළේ? ඒ දීමනාවේ ප්‍රතිඵලයක් විදියට ඔබ අපි මුණ ගැසුණා. ඔබ අපිට කාලය දුන්නා. අද සමහර අයට එන්න කම්මැලි හිතෙන්න ඇති. නමුත් ඔබ කම්මැලිකම පරාජය කරලා ආවා. අන්න අතහැරලා ආවා. එහෙනම් මතක තියාගන්න මේ ජීවිතය කියන්නේ අතහැරීමක්. මේ අතහැරීම තේරුම් ගන්න අතහැරීම දකින්න අතහැරීම පිළිගන්න. එතන සමස්තයම දන්දීමක් වෙනවා. සියල්ල අත ඇරලා ජීවත් වෙන්න. සියල්ල අතහැරිලා නම්, මේ බෝතලේ තියෙන වතුර ටික ඔක්කොම අතහැරලා ජීවත් වුණොත්, මේ බෝතලේ සම්පූර්ණයෙන්ම පිරෙන්නේ නැද්ද? පිරෙනවා.
මේක තමයි ගමන් මාර්ගය. පාරමී සම්පූර්ණ වෙලා සම්බුද්ධත්වයට පත්වුණා කියන්නේ පින පූර්ණයි. මහ රහත් උනා කියන්නේ පින පූර්ණයි. ඇයි සමස්තයම සියට සීයම සුවිශුද්ධං අහෝසියි. අතහැරිලා ඉවරයි. පින පූර්ණයි. ඔබත් ඒ ගමන යන්න, මේ අතහැරෙන එක දකිමින් ජීවත් වෙන්න. එතකොට ජීවිතේම දාන පාරමිතාවක්. වෙසක් එකට දන්සැල් දෙන එකම නෙමෙයි දාන පාරමිතාව කියලා කියන්නේ. ඉතුරු වෙන බත් ටික, උයන ටික කවුරු හරි කනවා. පන්සලේ හැමවෙලේම ඕන තරම් අපේ වැඩියෙනුත් දානේ තියෙනවා. කවුරුහරි කනවා විසික් කරන්නේ නැහැ. නාස්ති වෙන්නේ නැහැ. මුළු ජීවිතේම දාන පාරමිතාවක්. මේක තේරුම් ගන්න. නිවන කියන මේ ධර්මතාවය තියෙන්නේ ඔබ ගාව. මේ මගේ කතාවක් නෙවෙයි කියන්නේ. මම ඔබට පෙන්නලා දෙන්න බලන්නේ, ඔබගේ ජීවිතය දාන පාරමිතාවක් නෙමෙයිද කියලා බලන්න කියලා. මෙතන තමයි පාරමි පිරෙන්න පටන් ගන්නේ. මෙතන තමයි පාරමී හැදෙන්න පටන් ගන්නේ. මේ අතහැරෙන එක, මේ ලෝකයේ සියල්ල අතහැරෙන එක තුළ පින් රැස් කරන්න දඟලන එක තුළ නෙවෙයිද සසරේ යන්නේ, සසර හැදෙන්නේ?
ඔබ සෝවාන් වෙන්න, සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න දඟලනවා. රහත් වෙන්න දඟලනවා. බුදු වෙන්න දඟලනවා. මොකටද මේ? සෝවාන් කියන්නේ නැති වෙන එකක්, ඒ තුළ මුකුත් නැහැ. එතකොට සසර කොහෙද ගොඩනගන්නේ? මේ සමස්තයම අතහැරීමක් තියෙන්නේ. අතහැරෙන කලාවක් තියෙනවා. මේක තුළ අපි අල්ලගන්න, ගොඩනගන්න, රැස් කරගන්න, මට ඕන විදිහට තියාගන්න මාර දුකක් විඳිනවනේ. ඒ විඳින දුක තුළ නේද, සසර දුකයි බයයි ඔක්කොම ටික ගැටගහලා තියෙන්නේ? එහෙනම් අතහැරෙන අතහරින ජීවිතය තුළ, අතහැරෙන එක තුළ ජීවත් වෙන්න.
ඔබ හැමදෙනාවම අපි කිලෝමීටරයක් විතර උඩට අරන් ගිහිල්ලා ගුවනින් බිමට අතහරිනවා කියලා හිකන්න. බිමට වැටුණම මැරෙනවානේ. බිමට වැටුනහම කුඩු වෙලා, චොර වෙලා යනවා කෑලි හොයාගන්න හම්බෙන්නෙත් නැහැ. දැන් අපි කරන්නේ මොකක්ද කියලා දන්නවද? කිලෝ මීටර් දහයක් විතර උඩට ගිහිල්ලා අපිව අතහැරලා තියෙන්නේ. අතහැරලා තියන එක තුළ අපි විවාහ වෙනවා, ළමයි හදනවා, ඉගෙන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා. මේක නෙවෙයිද කරන්නේ?
මේ උඩින් ඉදන් පල්ලෙහාට එනකන්ම, ඔය කොහේ හරි ගැටගැහිලා ඉන්නවා. බිමට වැටිච්ච ගමන් ඔක්කොම ඉවරයි. මටත් ඇතුළු අපි හැමෝටම ඕක තමයි වෙන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට වැටෙනවා වගේ එකක්. උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන එක තුළ තමා අපි මේ හැම සෙල්ලමක්ම දාන්නේ. ඒක නිසා තේරුම් ගන්න අවශ්‍යයි අතහැරෙනවා කියන දේ ගැන. මොකද අපි කවුරුත් ලොක්කොත් නෙවෙයි සොක්කොත් නෙමෙයි. ඔබට හරි ලස්සනට සසර හොයාගන්න පුළුවන්. කොහොමද ඔබ සසර හොයාගන්නේ? ඔබ යමක් තියාගන්න දඟලයිද, එතන සසර නිර්මාණය වෙනවා. ඔබ හිත අල්ලගන්න දඟලයිද සසර හැදෙනවා. මේක තමයි සිද්ධ වෙන්නේ.
ඔබ මොකක් හරි අල්ලගෙන ඉන්න දඟලනවා නම්, ඒ අල්ලගන්න දඟලන සෑම තැනකම ඔබේ සසර තියෙනවා. සසර තියෙනවා කියන්නේ දුක තියෙනවා. එහෙනම් මේ දුක නැති කරගන්න නම් සසර නැති කරගන්න අවශ්‍යයි. මම මෙතන සසර කියන්නේ අල්ලගන්න දඟලන තැන. ඔබ මේ අල්ලන්න දඟලන එක ඉවර වෙන්නේ රහත් හෝ මේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පත්වුණාට පස්සේ. මේ බෝධිය කියන තැනට පත්වුණට පස්සේ මේක සම්පූර්ණයෙන් අතහැරෙනවා. මේ සංස්කාර ධර්මයෝ අහෝසි වෙලා යන්නේ ඊට පස්සේ. එහෙනම් ඔබ මේ සසර කියන එක තුළ අතහැරෙනවා කියන දේ තේරුම් ගනිමින්, දුක තේරුම් ගනිමින්, දුකද අනිත්‍ය බව තේරුම් ගනිමින්, අනාත්ම බව තේරුම් ගනිමින්, අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගනිමින් ඔබ මේ සසර යනවා. සියල්ල අතහැරීමක් තියෙන්නේ. අපි අල්ලගන්න දඟලන කොට දුක හැදෙනවා, එතැනද අනාත්මයි.
නමුත් මේ චක්‍රය තුළ අපි යනවා. ඔබටත් මටත් මේ චක්‍රය උරුමයි සහ පොදුයි. අන්න අර පාරමිතාවන්ගෙන් ඔබ එක්තරා තැනකට එනවා. මට හිතෙනවා මේ මොහොත වෙද්දි ඔබට අනිත්‍ය තේරිලා තියෙනවා කියලා. මෙතනදි අනිත්‍ය කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි. එහෙම එකක් නැහැ. මේ ඔක්කොම අතහැරීමක් තමයි. තියා ගන්න බැහැ. එහෙනම් හිත අල්ලාගන්න හිතන තැන දුක සහ අනාත්ම ගොඩනැගෙනවා. ධර්මතා දිහා බලන්න. වචන දෙස නෙමෙයි. වචනවල එල්ලෙන්න එපා. වචනවල තියෙන පණිවිඩය දිහා බලන්න. අන්න ඒ ධර්මතාවය තේරුම් ගත්ත ප්‍රඥාවන්ත පිරිසකටයි, මේ මොහොතේ මම ධර්මය දේශනා කරන්නේ.
මේ ඝෝර කටුක භයානක වූ සංසාර සාගරයේ පුංචි නැවතුම්පොළකින් අපි හමුවුණා. මා පාරමී ගැන කතා කළා. ඊළඟට තියෙනවා සෝවාන් මාර්ගය පෙන්නන්න. හැබැයි මේ සෝවාන් මාර්ගය පෙන්නන එක ඔබට ටිකක් රිදෙන සුළුයි. ඔබ මගෙත් එක්ක එකතු වෙන්න ඕනේ, මගෙත් එක්ක එකතුවෙලා මේ ගමන සාකච්ඡා කරන්න අවශ්‍යයි. නිකන් කම්මැලිකමට වාඩිවෙලා ඉන්න එපා. මගෙත් එක්ක එකතු වෙලා කතාකරමින් මේ ගමන යන්න ඕනේ. ඔබට පේනවා ඇති මේ මල් බඳුනේ මල් එකක් තියෙනවා, හරිම ලස්සනයි. අපි හිතමු, මේ මල් ටික ඔක්කොම පරවෙලා තියෙන්නේ කියලා, පරවෙලා ගඳ ගහනවත් එක්ක කියලා හිතන්න. තව පරවිච්ච නැති ලස්සන මල් ටිකකුත් තියෙනවා කියලා හිතන්න.
අපේ හිත පෙන්නන්න පුරුදු වෙලා තියෙන්නේ බොරුව එහෙම නැතිනම් නරක දේ, වැරදි දේ මයි. අපේ හිත අපිට පෙන්නන්න පුරුදු වෙලා ඉන්නේ එහෙම තමයි.
සිත සරණං ගච්චාමි කිව්වේ නැහැනේ. බුද්ධං සරණං ගච්චාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලනේ කිව්වේ. හිත අපිට පෙන්නන්නෙම බොරුව. අද යුද්ධේ ඉවර වෙච්ච දවස නේද? මම ඔය කට්ටියගෙන් ප්‍රභාකරන් ගැන ඇහුවොත් එහෙම, ඔබට ප්‍රභාකරන් ගැන හොඳ කියන්න කිව්වොත් එහෙම, හොඳ කියන්න පුළුවන් වෙයිද? අපිට අමාරුයි නේ. අපි හිතන්නෙවත් නැහැ. හිතලත් නෑ. හැබැයි බෝසතෙක්ගෙන් ඇහුවොත් එහෙම, ප්‍රභාකරන්ගේ හොඳක් කියන්න පුලුවන්ද කියලා බෝසතෙක් හොඳක් කියනවා. බුදුහාමුදුරුවෝ අංගුලිමාලගෙත් හොඳක් දැක්කනේ. ඒ කියන්නේ මේ බෝසත් වරු, මහ බෝසතා, බුදුවරුන්, මේ ආර්යයන් වහන්සේලා, මේ මාර්ගයේ ගමන් කරන අය සෑම තැනකම තියෙන හොඳ දේ, ගත යුතු දේ ගත යුතුයි. උදාහරණයකින් පැහැදිලි කළොත්, ඉදුණු කෙසෙල් ගෙඩියක් ඔබට පෙන්වලා, ඉදුණු කෙසෙල් මොන පාටද කියලා ඇහුවොත් එහෙම මම දන්නවා ඔබ කියයි කහ පාටයි කියලා. මම කෙසෙල් ගෙඩියේ කහ පාට කොටස ගලවලා දුන්නොත් ඔබට කන්න පුළුවන්ද?
මහාගුරු මල් ටිකක් පෙන්වලා මෙසේ අහනවා. ඔබට මේ මල් ටිකෙන් නිවන් දකින්න පුළුවන්ද? සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ටම මල් පහන් සුවඳ දුම් පූජා කරනවා. පැන් ටිකක් තියලා, ආහාර ටිකක් තියලා, හඳුන්කූරක් පත්තු කරලා, සාදු කියලා, ගාථා ටිකක් කියලා, මෝඩයෝ වගේ අපි ඉන්න පුරුදු වෙලා ඉන්නේ. මොකුත් හිතන්නේ නැහැ.
හැබැයි පහන පත්තු කරලා, ඇයි මම පහන පත්තු කරේ කියලා හිතලා බැලුවොත් අපිට ගන්න දෙයක් ගන්න දෙයක් තියෙනවා. එතකොට ගන්න ධර්මතාවයක් තියෙනවා. එතන තේරුම් ගන්න. පහන්, සුවඳ දුම්, මල් ටික තියලා කල්පනා කරලා තියෙනවාද, මේ තුළ මට මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඔබ ඒ තුලින් දහම දෙස බැලුවද? සෝවාන් මාර්ගය කියන එක ගොඩනැගෙන්නේ ධර්මය මතක තබා ගැනීම, ඉගෙන ගැනීම කියන එක තුළ නෙවෙයි. ඔබ ඔබ තුළින් ධර්මය දකින්නෙක් බවට පත්විය යුතුයි. ධර්මය කියන එක පැත්තකින් තියලා මා ඔබට කියන්නේ ධනාත්මක විදියට හිතන්න කියලා. ධනාත්මක විදිහට හිතන්න පටන් ගත්තාම ඔබ සම්මා වෙන්න පටන් ගන්නවා. සම්මා වෙන්න නම් හැම දෙයක් දිහාම ධනාත්මකව බලන්න පුරුදු වෙන්න. මනුස්සයෙක් ඔබට බූරුවා කියලා බැන්නොත් මනුස්සයෙක් ඔබට මිත්‍යාදෘෂ්ටිකයා කිව්වොත් ඔබට මොකද වෙන්නේ? මෙයා මට බූරුවා, මිථ්‍යාදෘෂ්ටිකයා කියලා බැන්නා කියලනේ හිතෙන්නේ? දැන් මේ බූරුවා මිත්‍යාදෘෂ්ටිකයා කොහෙද හිටියේ? ඒ බැන්න එක්කෙනා ගාවනේ හිටියේ. අන්න ධනාත්මක විදිහට ධර්මය පෙනෙනවා. මේ කතා කරන වචන තුළ, මේ දේවල් තුළ පවා මේ දැන් ‘සම්මා’ දකින්න බලන්න. ඔබ එද්දිම කණ්ණාඩියක් දොරටුව ළඟ තියලා, ඔබ මාරයා දුටුවාද කියලා ගහලා තිබුණා නේද?
සම්මා තිබුණ අය එතනින් කුමක් හෝ ධර්මතාවයක් දැකල එනවා. ඔබ ඉස්සෙල්ලාම සම්මා වෙන්න ඕනා. හැම දෙයකින්ම මොනවාම හරි ඒ වගේ දෙයක් පෙනෙන්න අවශ්‍යයි. අපි වෙනස් වෙන වෙසක් දවස කියලා පෝස්ටර් ගහලා තිබුණා නෙද? ඒක දිහා බලලත් ඔබට වෙනස් වෙන්න පුළුවන්. මා ඒක අමු පෘතග්ජනයෙකුට පෙන්නුවොත්, ඒ පෘථග්ජනයත් අවදි කරලා පෙන්නන්න පුළුවන්. හරි දැන් මේකේ තියෙන්නේ අපි වෙනස් වෙන වෙසක් මස කියලනේ. දැන් ඔබට පුළුවන් මේක දිහා බලාගෙන ගැටෙන්න. අන්න ඒ වගේ අයට තමා පින්වතුනි අමු පෘථග්ජනයෙකි කියන්නේ. වාහනේ පදවගෙන යද්දි පිටිපස්සේ වාහනේ හෝන් කරා කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔහුට හදිසි නම් අපි යන්න දෙනවා. නමුත් අපි ඒක අල්ලගෙන ගැටෙනවා කියලා කියන්නේ, අපේ පෘථග්ජන බව එලියට පැනලා කියන එකයි. ඔබ රහත් වෙනකම් පෘතග්ජනභාවය විටින් විට විවිධ ස්වරූපයන්ගෙන් ඉන්නවා. සකෘදාගාමි ඵලයෙන් එහාට ගියාට පස්සේ පෘථග්ජනයා නැහැ. මා මේ කියන පාරේ යන්න නිකං කයියක් ගහගෙන. ඔබ හැම තැනම සම්මා දකින්න පුරුදු වෙන්න. ඔබ මේ වැඩසටහනට, මේ හෝල් එකට ආවට පස්සේ මෙතනත් ගැටීමක් ඇතිකරගන්න පුළුවන්. මෙතන තියෙන මොකක් හරි එකක් අල්ලගෙන ගැටෙන්න පුළුවන්, පෘථග්ජනයා එලියට පැනලා. එතකොට අපේ ඇතුලේ ඉන්න පෘථග්ජන සතා එළියට පැනලා. අපි කුමක්ද කරන්න ඕනා කියලා, කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඔබ කොහේ හරි ගැටෙන කාරණයක් සමග පැටලෙනවා නම්, ඒ කියන්නේ අපි අර සෘණාත්මක කාරණයක් එක ගැටෙනවා නම්, එතන ඔබේ පෘතග්ජනයා ඉන්නවා.
හැබැයි අර කෙනා ඔබට මිත්‍යාදෘෂ්ටිකයා, බූරුවා කියලා කියලා බනිද්දි, ඔබට පුළුවන් නම් ඒ තුළ ධර්මය දකින්න, ධර්මය වඩන්න, එහෙමත් නැතිනම් එතනින් මොනවා හරි දෙයක් ඔබට ගන්න පුළුවන් නම්, ඒ කියන එක ගුරු කරගන්න පුළුවන් නම් ඔබ තුළ සම්මා තිබෙනවා. ඔබ සෝවාන් මාර්ගයේ ඉන්නවා. සෝවාන් මාර්ගයේ යන්න නම් එළියට හැරිලා බැහැ. තමන්ගේ ඇතුලට හැරෙන්න අවශ්‍යයි. තමන්ගේ පැත්තට හැරෙන්න. මොකද? තමන් සෝවාන් කරන්න ඕනේ. තමන් ගලවන්න ඕනේ. සසර තමන් දෘෂ්ටියකට අහුවෙලා ඉන්නේ. හරි මම අහනවා ඔබේ තියෙන දෘෂ්ටි මොනවද කියලා. මා ඔබ තුළ තිබෙන දෘෂ්ටි ටිකක් පෙන්නන්නම්. ඔබ ඔහොමම ඇස් දෙක පියාගන්න.
මම කියනවා ඔබ ඔබේ අම්මව හිතින් මවා ගන්න. අම්මගේ රූපය මොන වගේද? ඔබට අම්මා ගැන කතාවක් විස්තරයක් තියෙනවානේ, රූපයක් තියෙනවානේ, ඒක තියෙන්නේ කොහෙද? ඔබ ගාව නේ? මේ ඇතුලේ හැදිලා තියෙන අම්මා තමයි එළියේ ඉන්නේ කියලා ඔබට හිතෙනවා. ඔබේ ඇතුලේ අම්මා හැදිලා ඉන්න එක තමයි, ඔබේ දෘෂ්ටිය.
මා ඉඳලා හිටලා, විදේශ රටවල්වල යනකොට, ෂර්ට් එකක් ඇතුලට අඳිනවා, අංශකඩේ නැතුව. ඒක කරන්නේ උරහිස සම්පූර්ණයෙන්ම වැහෙන්න. අංශකඩේ ඇන්දොත් වැහෙන්නේ එක පැත්තයි. විදේශ රටවල් වල යද්දී, උරහිස් දෙකම වැහෙන්න ඇඳගෙන යන එක අනිවාර්ය දෙයක් වගේ.
ලංකාවේ අපි ඉන්නකොටත් මා සමහර විට ෂර්ට් එකක් සිවුරට යටින් ඇන්දා. අපේ හාමුදුරුවෝ ගොඩක් අඳිනවා. ඒකට එක එක හේතු තියෙනවා. මා සමහර අවස්ථාවන් වලදී, අංශකඩේ වෙනුවට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා ඔබ දැකලා ඇති. සමහරු ඒකත් එක්ක ගැටිලා තිබුණා. මම කල්පනා කරා ඇයි ඒකත් එක්ක සමහරු ගැටෙන්නේ කියලා. ඒ අයගේ ඇතුලේ හදාගෙන ඉන්න දෘෂ්ටියට අනුව, හාමුදුරුවොන්ගේ එහෙම ෂර්ට් අඳින සිරිතක් නැහැ. දැන් මමත් මෙතෙනට සිවුර නැතුව, මේ අඳනය පිටින්, ෂර්ට් එකක් වගේ ඇඳගෙන ආවොත් එහෙම ඔබට එක ප්‍රශ්නයක්නේ. හාමුදුරුවෝ කෙනෙක් මෙහෙම අඳිනවද? ඔබේ ද්වේශය ටිකක් ඇවිස්සෙනවානේ. ඇයි ඒ ද්වේශය ඇවිස්සෙන්නේ? බලන්න හිත දිහා. ඔබට හිත පෙන්නන්නේ නැතුව, මම එහෙම කියනවා කියන එකෙන් මේක ගන්න එපා. ඔබේ හිතේ, හාමුදුරුවෝ කෙනෙක් වුනහම මෙහෙම වෙන්න ඕනා කියලා තදට හැදුනු දෘෂ්ටියක් තියෙනවා නම් ඒ හැදිච්ච එකත් එක්ක මේ දකින එක ඔස්සේ ගැටෙනවා. දැන් මා මේ කියන කතාව අහන්න එපා. දැන් ඔබ ඔබේ ඇතුළ දිහා බලන්න. මා ඔබේ ඇතුලේ කතාව පෙන්නන්නේ.
ඔබට සමහර විට දරුවන් ඉන්නවා ඇති. ඒ දරුවන් සම්බන්ධයෙන් ඔබට ඇතුලේ කතාවක් තියෙනවානේ. දරුවාගේ රූපෙත් එක්ක, යම් විදිහකට දරුවෙක් ඔබ හිත ඇතුලේ හදාගෙන ඉන්නවා. බොහෝ විට ඒ දරුවා දඟ කරන්නේ නැති, හරි හොඳ, ඉගෙනගන්න දක්ෂ එහෙම එක්කෙනෙක්. හැබැයි එළියේ ඉන්න දරුවා එහෙම එක්කෙනෙක් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? අපේ ඇතුලේ ඉන්න දරුවා වගේ, අර එළියේ ඉන්න දරුවාව අපි හදන්න දඟලනවද නැද්ද ? එළියේ ඉන්න දරුවා ඇතුළේ ඉන්න දරුවාගේ වගේ හදන්න දඟලනවා. මේක මම වැරදි කියනවා නෙවෙයි. දකින්න මේ දෘෂ්ටිය. වේලාවකට මහත්තයාට බනින්නේ, නෝනට බනින්නේ ඇයි?ඇතුලේ කතාවක් හදාගෙන, බාහිර කෙනා ඒ වගේ නැති හින්දා ගැටෙනවා. ඔබේ ඇතුලේ තියෙන දෘෂ්ටි මොනවද කියලා බලන්න. කොච්චර තියෙනවද? දැන් මම පිළිම වහන්සේ නමක් මෙතන ඉස්සරහයින් බිමින් තියලා තියෙනවා. එහෙම තිබ්බොත් ඒකට ඔබ ගැටෙනවනේ. ඒක වැරද්දක්. එහෙම අගෞරව කරන එක වැරදියි. එහෙම උදාහරණයක් මා මේ වෙලාවේ කියන්නේ, ඔබගේ දෘෂ්ටිය බලන්න. ගැටෙන්නේ ඇයි? ඒක එහෙම වෙන්න බැහැනේ කියලා ඇතුලේ තදංග වෙලා, ඇතුලේ එකක් හිරවෙලා තියෙනවා. සමහරට විට ඔබ ආදරය කරන්නේ, ඔබ හිතින් හදාගත්ත එක්කෙනාට. සමහර විට ඇත්තම කෙනා ඒ වගේ නෙවෙයි. ඔබේ ඇතුළ බලන්න. ඔබම හදාගත්ත ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇතුලේ කොච්චර දෘෂ්ටි තියෙනවද? දෘෂ්ටි බලන්න පටන් ගන්න. මම හදාගත්ත එක තමයි මට පේන්නේ. මම හිතාගත්ත එක තමයි මට පේන්නේ. තමන්ගේ දෘෂ්ටිය දකින්න. මම අන්නාසි ගෙඩියක් කිව්වහම, ඔය කට්ටියගේ ඔලුවේ අන්නාසි ගෙඩියක් හැදෙනවා නේද? ඒක තමයි දෘෂ්ටිය. ඔය කට්ටිය කෑම කන්න යනකොට, කෑම දැක්කහම රසට ඇති හරි හොඳයි. කෑම මෙහෙම තියනවා කියලා ගිහිල්ලා වාඩි වෙනවා. හැබැයි කන්න ගත්තහම රස නැහැ. අර දෘෂ්ටියේ තිබුන රස එක විදියක්. නමුත් කන්න ගත්තහම එහෙම නැහැ. එතකොට ගැටෙනවානේ.
තව දෙයක් තමයි, සමහරු මේ බුදු දහමේ තියෙන එක් එක් වචන සම්බන්ධයෙන් දෘෂ්ටි දාගෙන ඉන්නවා. විඥානය කියන්නේ මේක. අනිත්‍ය කියන එකේ තේරුම මේක. මේ වගේ ඒවාත් දෘෂ්ටි තමයි. සම්මා දිට්ඨිය කියන්නේ මේක කියලා දෘෂ්ටියක් දාගන්න එපා. ඒක දකින්න. මේ දහම තියෙන්නේ කටපාඩම් කරගෙන ඉගෙනගන්න එකක් නෙමෙයි. තමන්ව දකින්න උගන්නලා තියෙන්නේ හැම තැනම. මා ඔබගේ දෘෂ්ටි පෙන්නලා දුන්නා. කාන්තාවක් කිව්වම ඔලුවේ ඇඳෙනවානේ එකක්. දැන් ගොඩක් වෙලාවට ඔබේ රාගය තියෙන්නේ ඔබේ ඇතුලේ හැදුනු කාන්තාවත් එක්ක. ලස්සන ඇඳුමක් කෙරෙහි රාගයක් තියෙනවා නම් ඒ ලස්සන ඇඳුම කොහෙද තියෙන්නේ? ඔබේ ඇතුලේ. ඒකනේ අවුරුද්දට ෂොපින් කරලා ඇවිදිලා ඇවිදලා හොයනවා, මොකක්ද? ඇතුලේ තියන එක එළියේ නැහැ. ඇයි දෘෂ්ටියනේ හොයන්නේ? අන්න දෘෂ්ටිය පෙනෙනවා. අන්න සම්මා දිට්ඨිය. මේ දෘෂ්ටිය ගැන හොඳට තමන් තනිව අවබෝධ කරගන්න. මේ මගේ දෘෂ්ටිය. මගේ මතකය තියෙනවා. මම අහුවෙලා ඉන්න මගේ දෘෂ්ටියට. මේක මෙහෙම වෙන්න ඕනා… මේ විදියට නම් ඒක වෙන්න බෑ… මේ ආකාරයෙන් කොච්චර මත, දෘෂ්ටි තියනවද? අන්න ඒ දෘෂ්ටියත් එක්ක අමු පෘථග්ජනයෙක් ඉන්නේ. හැබැයි මේ දෘෂ්ටි දකින්න පුළුවන් නම්, ඔබ නිහඬයි. ඔබ දමනය වුණු කෙනෙක්. ඔබ නිහඬ වුණු කෙනෙක්. කලබල වුනු නැති කෙනෙක් බවට පත්වෙනවා.
දැන් දෘෂ්ටිය පෙනෙනවා. සමන් පිච්ච මලක් කිව්වහම, ඇතුලේ දෘෂ්ටිය හටගන්නවා පෙනෙනවා. අරලිය මලක් කිව්වහම ඇතුළේ තමන්ගේ අරලිය මල හටගන්නවා පෙනෙනවා. දෘෂ්ටිය පේනවා කියලා කියන්නේ, සිහියත් හොඳට හැදිලා. ඇතුලේ හටගන්න එක පේනවා. ඒක තමයි දෘෂ්ටිය.
දැන් මම අරලිය මල කියලා කිව්වනේ. අරලිය මල කිව්ව ගමන්ම ඇතුලේ අරලිය මල හටගන්නවා. තමන්ගේ ඇතුළේ දෘෂ්ටිය විදියට ඇතිවන අරලිය මල තමන්ට පේන්න ඕනා, තේරෙන්න ඕනා. අරලිය මලේදී විතරක් නෙවෙයි, දැන් තමන්ගේ ජීවිතය තුළ මේක දකින්න ඕනා දෘෂ්ටිය කියන දේ. අරලිය මල කියන දෘෂ්ටිය දකින්න ඕනා. එතන සෝවාන් මාර්ගය තුළ සෝවාන් ඵලය හැදෙන්න නම්, ඔතන තියන දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ මම මගේ කියන දෘෂ්ටිය ගැලවිලා යන්න ඕනා.
මම මගේ කියන දෘෂ්ටිය ගැලවිලා යන්න සම්මා දිට්ඨිය පහළ වෙන්න ඕනා. සම්මා දිට්ඨිය හොඳට වැඩෙන කොට, මම කියන්න බැහැනේ. මගේ කියන්න බැහැනේ. මෙතන මම හදාගත්ත කතාවක්නේ තියෙන්නේ. මම හිතාගත්ත එකක්නේ මෙතන තියෙන්නේ. ඔබ වැරදි නැහැ කියලා, තමන්ගේ පැත්තට හැරිලා ඇතුලට රිංගනවා. මෙන්න මෙතෙන්ට ගියපු කෙනාට තවත් ගැඹුරින් දෙයක් පෙනෙනවා.
ඒ තමයි සකෘදාගාමී වෙද්දී, එන තැන. ඔබට කලින්ට වඩා ගැඹුරට පෙනෙන්න ඕනා. කොහොමද ගැඹුරුට පෙනෙන්නේ?
මම ගත්ත උදාහරණය අරලිය මල නැවත අරගෙන පැහැදිලි කරන්නම්. තමන්ගේ ඇතුලේ තියෙන අරලිය මල හැදුනා පෙනෙනවා වගේම, අරලිය මලත් එක්ක, අරලිය මල කියන ලෝකය අපේ හටගන්නවා හිත තුළ. අරලිය මලේ සුවඳ, මල, සංස්කාර, මතකය, විඤ්ඤාණ, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, උපාදානස්කන්ධය, අරලිය මල කියනකොටම අරලිය මලත් එක්ක බැඳිච්ච උපාදානස්කන්ධය තමන්ට සිහියට නුවණට වැටහෙන්න පටන් ගන්නවා. මේක තමන් තුළින් දකින්න. මම කියන දේ අහගෙන ඉන්න එපා.
වෙරළු ගෙඩිය කිව්වහම, වෙරළු ගෙඩිය කියන රූපයත් එක්ක, වේදනාවත් එක්ක, සංඥාවත් එක්ක, ඇතුලටම දැනෙනවානේ. නෙල්ලි ගෙඩියක් කිව්වහම, රසයත් එක්කම ඇතුලට ගන්න බැරිද? අන්න දෘෂ්ටිය. අන්න එතන දෘෂ්ටිය විතරක් නෙමෙයි, මේ ලෝකයම හටගන්න විදිය, තමන්ට පංච උපාදානස්කන්ධයම හටගන්න විදිය, තමන්ට සිහියට දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම කරනකොට දැන් හටගන්න එක තමන්ට තේරෙනවා. හෝන් ශබ්ද්දයක් ඇහිච්ච ගමන්ම උපාදානස්කන්ධයක් හටගත්තා නේද කියන දේ සිහියට ගෝචර වෙනවා. එහෙම නැත්නම් ඔන්න මට උපාදානස්කන්ධයක් හටගත්තා කියලා හිතන එක නෙවෙයි. ඒ තමන්ගේ උපාදානස්කන්ධය තමන්ට පෙනෙනවා. සිහියට ගෝචරයි.
ඔතනින් එහාට යද්දී සමාපත්තියට වැටෙනවා. ඒ කියන්නේ එයා නිහඬ වෙනවා. හරියට මේ නිශ්චල වුණු වතුර එකක් වගේ, නිහඬ වෙනවා. දෘෂ්ටියෙන් ගැලවිලා, ලෝකයෙන් ගැලවිලා හරිම නිහඬ ශාන්ත ස්වභාවයක් ඇති නිවුණු කෙනෙක් බවට පත්වෙනවා. අඩුම ගානේ පැවිදි වෙනවා නම් පැවිදි වෙන්න ඕනා, අනාගාමීත්වයටවත් පත්වෙලා. එතනට ආවහම ගිහි ජීවිතයේ ඉන්න ටිකක් අමාරුයි. බැරි නෑ. ඉන්න පුළුවන්. ඇඳුම නෙවෙයි ප්‍රශ්නේ. නමුත් තනිව හුදකලාවේ නිදහසේ ඉන්න ඕනා. මොකද එයාට මේ ලෝකය කියන එක පැනවෙන්නේ නැහැනේ. ලෝකය පැනවෙන්නේ නැති වුනාම, ඉන්න අමාරුයි. ගිනිගන්නවා වගේ. වැඩ කරන්න තේරෙන්නේ නැහැ. එතකොට වෙනම ක්‍රමයක් තියෙනවා. මනස වෙනම ඒ වෙනුවෙන් හදාගන්න පුළුවන්. නමුත් මේක ගිලිහිලා යනවා. ලෝකය ගිලිහිලා යනවා.
දැන් ලෝකයක් ගොඩනැගෙන්නේ නැනැ. සමාපත්තියක් වැනි ස්වභාවයක් තියෙන්නේ. එතන ඉන්නකොට ඒකේ යට අනුශය තියෙනවා, අළු යට ගින්දර තියෙනවා වගේ. එහෙමත් නැත්නම් සංයෝජන වෙන්න පුළුවන්, සියුම් කෙලෙස්, කර්ම කෙලෙස්, කර්ම පැති, ඒ වගේ බොහෝ සියුම් ඒවා තියෙනවා. ඒවා පෙනෙන්නේ නැහැ. බැලුවට එහෙම පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් ඔබට දරුවෙක් හම්බවෙන්න කලින්, දරුවට ආදරයක් තිබ්බද? නැහැනේ. දරුවෝ හම්බවුනාට පස්සේ කොහෙවත් නැති ආදරයක් එනවනේ. එහෙනම් කොහේ හරි ඒ ආදරය තිබිලා තියෙනවා. ඔබට ජීවිතේට කාපු නැති කෑමක් කන්න හම්බ වෙනවා. කෑවට පස්සේ කන්න හිතෙනවා. ඒ කියන්නේ ඇතුලේ ආසාව ගොඩනැගෙන කාරණයක් තිබිලා තියෙනවා. ඒක අරකෙන් මතු වුනාට පස්සේ දැන් වැඩ. මෙන්න මේ වගේ, යට තියෙන ඒවා මේ සමාපත්තියේ නිදහසේ ඉන්න කොට ඇතුලෙන් මතු වෙන්න පටන් ගන්නවා. එතකොට හොඳට දකිනවා. මේවා නැති කරන්න දඟලන්නේ නැහැ. හොඳට මතු වෙලා එන්න දෙනවා.
ඒක හරියට පැහැවලා සැරව එළියට එනවා වගේ. අන්න ඒ වගේ, විස එළියට එනවා වගේ එන්න දෙනවා. දමනය වුනු හිතක්නේ තියෙන්නේ. සංසුන්ව එතන ඉන්නවා. දමනය වුණු, සංසුන් වුණු හිතක් තියෙනවා. මෙතන ඉන්න පටන් ගන්නවා. එහෙම ඉන්නකොට අර අනුශය ක්ෂය වෙලා ගිහිල්ලා, එයා සුවිශුද්ධං අහෝසි කියන තැනට එනවා. සුවිශුද්ධ වෙලා පෙර නොඇසූ නොවිරූ අධ්‍යාත්මික ඵලයකට අධ්‍යාත්මික විපාකයට ඔහු පත්වෙනවා. එක්කෝ රහත්. එක්කෝ මහරහත් තැනට පත්වෙනවා. මේක කාසියේ දෙපැත්ත වගේ, නිවන් මාර්ගය හෙවත් ආර්ය මාර්ගයත්, පෘථග්ජන මාර්ගයත් කාසියේ දෙපැත්ත වගේ එකට තියෙන්නේ. ඔබේ ජීවිතය වෙලාවකට නිවන් මාර්ගය කියන පැත්තට වැටෙනවා. වෙලාවකට කාසියේ අනිත් පැත්ත වැටෙනවා. හැබැයි, කාසියේ දෙපැත්ත ඉවර වෙලා යනවා. පෘථග්ජනයා මැරිලා යනවා, සෝවාන් ඵලයට පත් වුනොත්. ඒ නිසා, තමන් තමන්ගේ දෘෂ්ටිය දකින්න උත්සාහ කරන්න. දෘෂ්ටිය දකින්න පටන් ගත්තාම ඔබේ සෝවාන් මාර්ගය විවෘත වෙලා එනවා.
හොඳයි, මා මේ වෙද්දී ධර්ම දේශනා දෙකක් කරලා තියනවා. එනම් පාරමී භූමීය සහ අරහත් මාර්ගය. මේ මාර්ග දෙක මා දේශනා කරා.
ඔබට දැන් මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
සභාවේ කෙනෙක්: රූපයෙන් සහ වර්ණයෙන් තොරව දකින්න බැරිද අපිට? අපිට ඔබ වහන්සේ පැහැදිලි කලා, මේ දාගත්ත සියලුම දේවල් සමග තමයි අපි දකින්නේ කියලා. මේ දාගත්ත දේවල් වලින් තොරව දැකීමක් අපිට තියෙන්න බැරිද?
ස්වාමින් වහන්සේ: තියෙන්න පුළුවන්.
සභාවේ කෙනෙක්: ඒක එහෙම නම් දැකීමක් වෙනවද? පෙනීමද එතන තියෙන්නේ?
ස්වාමීන් වහන්ස: එතන දැකීමක් වෙනවා. මම දකින්නේ එතන දැකීමක්. සමහර විට වචන වල අපේ පැටලැවිල්ලක් තියෙනවද දන්නේ නැහැ.
සභාවේ කෙනෙක්: ඔබ වහන්සේ අරමුණු කරන දේම වෙන්නත් පුළුවන් මම කතා කරන්නේ. මම අරමුණු කරන දේම වෙන්නත් පුළුවන් ඔබ වහන්සේ ඔය දැකීම කියලා ප්‍රකාශ කරන්නේ. දැන් බලන්න, පෙනීම කියන දේට අපිට අර්ථයක් දෙන්න පුළුවන්ද? අපි අර්ථයක් දුන්නා කියන්නේ දැක්කා කියන තැනට තමයි.
ස්වාමින් වහන්සේ: ඒ තැනේදී දෙයක් ගොඩනැගිලනේ.
සභාවේ කෙනෙක්: මොකද අපි අර පෙර දාගත්ත දත්තයන් එක්ක ගැට ගහපු ගමන් පෙනීම කියන සංසිද්ධිය, නැත්නම් පෙනීම කියන ස්වභාවය දැකීමක් බවට පත්වෙනවා. ඒකයි මම ඔබ වහන්සේගෙන් ඇහුවේ, රූප වලින් තොරව, වර්ණයෙන් තොරව, දත්තයන්ගෙන් තොරව, අපිට දැකීමක් නැද්ද කියලා. අපි රූප වලින් තොරව, දත්තයන් වලින් තොරව, වර්ණයන් වලින් තොරව, යම් දැකීමක් දැක්කාද ඒ දැකීම, දැකීම් මාත්‍රයක පමණයි පවතින්නේ.
ස්වාමින් වහන්සේ: අනිවාර්යයෙන්ම.
සභාවේ කෙනෙක්: එතන පෙනීම කියලා කියන්න පුළුවන්. දැන් මම ඔබ වහන්සේ දිහා බලාගෙන ඉඳලා,, ඔළුව හරවලා, වෙන තැනක් දිහා බැලුවොත්, ඒ තැන ඉස්මතු වෙන්නේ පෙනීම කියන සංසිද්ධිය විතරයි. හැබැයි, ඒ පෙනීම මොකද කරන්නේ ස්වාමීන් වහන්ස, දැකීමක් බවට පත් කරනවා. ඒ දැකීම් බවට පත් කරන්නේ කොහෙන්ද? අන්න අර ඔබ වහන්සේ කියපු ඇතුලාන්තයෙන් නේද? හරි අපි ඇතුලාන්තය neutralize කලොත් අපිට පෙනීම කියන සංසිද්ධිය තියෙනවා. පෙනුනොත් පෙනුනා විතරමයි. ඔබ වහන්සේ පටන් ගන්නකොටම දේශනාවේ කිව්වා චුල්ල පන්තක ස්වාමීන් වහන්සේට සුදු රෙදි කඩක් දීලා රජෝ හරණං කියලා ඒ රෙදි කඩ අතුල්ලන්න කියලා තථාගත බුදුපියාණන් වහන්සේ කිව්වා කියලා. ඒක උපමාවක් නේද අපේ හාමුදුරුවනේ? හැබැයි අපිට ඇහෙන්නේ මෙතන උපමාවද රෙදි කඩද අපේ තුළින්? අපේ තුළින් රෙදිකඩ ගොඩනැගෙනවා. චුල්ල පන්තක හාමුදුරුවෝ ගොඩනැගෙනවා. උන්වහන්සේත් මේ වගේ වෙන්න ඇති කියලා හිතෙනවා. අන්න අර හිතුන බවට දේවල් ටිකක් අපි එකතු කලා. අන්න අර රෙදි කඩ වගේ.
ස්වාමින් වහන්සේ : ඔව්. අරලිය මල වගේ ගොඩක් උදාහරණ මම කිව්වා.
සභාවේ කෙනෙක්: අරලිය මල කියනකොට, ඇසීම කියන සංසිද්ධිය ඉපදුනේ මගේ තුළ. හැබැයි ඒ ඇසීම සඳහා ඔබ වහන්සේ ඔතනින් යම් සංඥාවක් උපදවනවා. හැබැයි ඔය සංඥාවට අවශ්‍ය සියලු දත්තයන් ටික මගේ තුළින් දෙනවා. ඔතනින් වචන කියන දේ අකුරු ආවේ නැහැනේ. ඇසීම කියන සංසිද්ධියයි උපදින්නේ මා තුළ. ඒ ඇසීම කියන සංසිද්ධියට තමයි මම පෙර දාගත්ත දත්තයන් සියල්ල මෙතනදි ඉස්මතු කරන්නේ. එහෙනම් අරලිය මල ඔබ වහන්සේ පෙන්නුවා නෙවෙයි. අරලිය මම මේ වෙලාවේ මම දැක්කා නොවෙයි. අරලිය මල මම දැනගත්තා නොවෙයි. අන්න එහෙමනම් අතෙන්ට අපිට එන්න පුළුවන් නේද? ඇසුනොත් ඇසුණා විතරයි. ඔතන හික්මෙන්න කිව්වා. දැක්කොත් දැක්කා විතරයි. ඔතන හික්මෙන්න කිව්වා. දැනුනොත් දැනුනා විතරයි. එතන හික්මෙන්න කිව්වා. දැනගත්තොත් දැනගත්තා විතරයි. ඔතන හික්මෙන්න කිව්වා.
ස්වාමින් වහන්සේ: ඔතනට ඇත්තටම ගල කඩාගෙන කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ඔතනට, ඵලයට ආවට පස්සේ automatically ඒක realize වෙනවා.
සභාවේ කෙනෙක්: එහෙමයි. ඒක එහෙමමයි ස්වාමීන් වහන්ස.
ස්වාමින් වහන්සේ: ඒක එහෙමමයි කිව්වොත් ඒක නැවත අර පරණ ලෙඩේට නැවත පත් වෙනවා. එතකොට ඇත්තටම ඔබතුමා කියන කතාවට මට තව වචන ටිකක් තියෙනවා කියන්න. මට ඒ ටික දැන් කියන්න වෙන්නේ නැහැ කට්ටිය ගොඩක් ඉන්න නිසා. මොකක් ගැනද ඔය කියන්නේ කියන. ඔතන ඵලයක් තියෙන්නේ ඇත්තටම. ඒ ඵලයට ආවම දැනෙන විදියයි ඔය කියන්නේ. මම අනිත් අයට කියනවා, ඒ අයත් මේ කෝප්පය දැකලා, ඒක “දැක්කොත් දැක්කා විතරයි. ඇසුවොත් ඇසුවා විතරයි” කිව්වට ඕක වෙන්නේ නැහැ. එහෙම දැක්කොත් ඒක වැරදියි කියලා අනිත් අයට කිව්වේ ඒකයි.
අර කොස් සැටේ පොත්ත ගැලවුණහම, නැවත පොත්ත අමුනන්න බැහැනේ. මොකද කට්ටිය ඒ විදිහට මනසින් ගත්තොත් එහෙම ධර්මතාවය දකින්නේ නැහැ. ධර්මතාවය දකින්නේ.
කාන්තාවක්: මම යක්කල වැඩසටහනටත් සහභාගී වුණා. ජීවිතයේ මා ගැටලුවක හිටපු දෙයක් එදා විසඳුනා. මොකද සිහියෙන් ඉන්නකොට ඔබ වහන්සේ කිව්වා, හිතේ තෙතමනය ඇති කරගන්න සහ නිහතමානී වෙන්න කියලා.ඇත්තටම ජීවිතයේ ලොකු දෙයක් එතනින් මම විසඳා ගත්තා. ඒ වගේම, දැන් මේ ගමන යනකොට, අපි ගිහි ජීවිතයේ ඉන්නකොට, දැන් ඔබ වහන්සේ අද ධර්ම දේශනාවේ කියන්නේ අතහැරීම ගැන. ඇත්තටම මට ලොකුම ගැටලුව තියෙන්නේ දරුවෝ ගැන. අතහැරීම කියන දේ කොහොමද ස්වාමීන් වහන්ස අපි කරන්නේ දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන්න ඕනා. ඒගොල්ලොන්ට අනාගතය හදන්න ඕනා.ඉතින් ඒ බැඳීම මට තේරෙන්නේ නැහැ කොහොමද අතහරින්නේ කියලා. ධර්ම මාර්ගයේ යනකොට ලොකු ගැටලුවක ඉන්නේ එතන.
ස්වාමින් වහන්සේ: ඔබතුමිය එතනදී දරුවා සම්බන්ධයෙන් ඇති කරගෙන තියන අතහැරීම කියන කාරණය වැරදියි. ඒ කියන්නේ, ඔය කතා කරන දරුවෝ අතහැරීම කරන්න හදන්නේ තමන්ගේ මානසික සුවය වෙනුවෙන්නේ. ඔබතුමිය දරුවෝ දෙන්නා අතහරිනවා කියලා ඒ දරුවෝ දෙන්නව නෙවෙයි අතහරින්න ඕනා, දරුවෝ දෙන්නෙත් එක්ක ඉන්න ඔබවයි අතහරින්න ඕනා. තේරුණාද? එතකොට ඔබතුමිය ඒ දරුවෝ දෙන්නාට හොඳට උගන්වන්න. යහපත් ගුණධර්ම කියලා දෙන්න. ඒක තමයි ඒ අතහැරීම. හැබැයි දැන් ඔබ දරුවෝ දෙන්න අතහරින්න හදන්නේ තමන්ගේ වාසියට. කරදරයිනේ. බැඳීමක්නේ. වදයක්නේ. ඉවරවිල්ලක් නැහැනේ. එතනදි ඔබට ඔබ අතහැරිලා නැහැනේ. ඔබ අතහැරලා නැහැ. තේරුණාද? එතකොට තමන්ගේ ඇතුලේ ඉන්න දරුවත් එක්ක තමයි පැටලිලා තියෙන්නේ. තමන්ගේ ඇතුලේ ඉන්න දරුවා අතහැරලා එක්කෝ ඔය දරුවා හිටපුදෙන් කියලා හිතන්නකෝ. තමන්ගේ දරුවෝ දෙන්නට කරන්න පුළුවන් යුතුකම උපරිමෙන් කරන්න. ඒක තමයි අතහැරීම.
මමත් ගිහි ජීවිතයක් ගත කළ කෙනෙක්. මටත් දරුවෙක් ඉන්නවා. මටත් දරුවා සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. දරුවා පුංචි කාළේදී ලඟ සිටිද්දී, මට පුදුමාකාර ධර්මතා ගණනාවක් තේරෙනවා. අදත් තේරෙනවා. එතකොට ඔය දරුවෝ දෙන්නා ඔබට බෝසත් චරිතයක් වෙන්න, පාරමී ගමනක් යන්න කියලා දේවි. ඒ දරුවෝ දෙන්න ලොකු බණක් ඔබට කියාවි. ජීවිතේ දුක කියලා දේවි. අන්න ඒ දේවලුත් කරගෙන ලස්සනට මේ ගමන යන්න. පටලවා ගන්න එපා. මතක තියාගන්න, ඔලුවේ කොණඩේ ටික කපලා, සිවුරක් දාගත්තාට නිවන් තියා සෝවාන් වත් හම්බවෙන්නේ නැහැ. ඒකට ඔය ඇඳුමවත්, කොණඩේවත්, තමන්ගේ කරේ තියන මාලෙවත්, රැවුලවත් පලි නැහැ. ඒ නිසා පටලවා ගන්න එපා. මෙතන තියෙන්නේ තමන්ගේ ඇතුලේ ප්‍රශ්නයක්. ඇතුලේ ප්‍රශ්න විසඳ ගන්න. එළියේ අර්බුද හදාගන්න එපා. තේරුණාද ?
කාන්තාව: ඔව්. තේරුණා ස්වාමීන් වහන්ස.
සභාවේ කෙනෙක්: මට මේ ප්‍රශ්නය ආවේ, අර අපි දෘෂ්ටි ගැන කතා කලානේ. උපතේ ඉඳන් සමාජයේ ඉන්න එකත් එක්ක ලබන දැනුම සමග අපිට විවිධාකාර දෘෂ්ටි හැදෙනවා. පසුකාලීනව අපිට තේරෙන්න ගන්නවා සමහර දෘෂ්ටින් වැරදියි, නමුත් සත්‍ය මේ දේ කියන එක. නමුත් මේ අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරද්දී, සමහර ඒ දෘෂ්ටි තුළ අපිට වැඩ කරන්න වෙනවා. හැබැයි අපි දන්නවා, මේ දෘෂ්ටිය, ඒ කියන්නේ මේ දේ වැරදියි, මේක නෙමෙයි වෙන්න ඕනා, නමුත් අපේ එදිනෙදා ජීවිතයේදී අපිට මේ දේ කරන්න වෙනවා. ඒක අපි කරන වැරද්දක්ද?
ස්වාමින් වහන්සේ : ඔබතුමාට වැඩසටහනට එන්න ඇඳුම් අඳින්න ඕනනේ. මාත් අඳින්න ඕනා. මාත් රැවුල කොණ්ඩය කපලා පිළිවෙලකට ලැහැස්ති වෙලා එන්නට ඕනා. එතකොට එදෙනදා ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම මේ පෘථග්ජන සමාජය තුළ අපිට එක්තරා විදියකට වෙස් වලාගෙන තමයි ඉන්න වෙන්නේ. හැබැයි තමන්ගේ ඇතුලේ මෙන්න මේ දෘෂ්ටිය කෙරෙහි, අපි හදාගත්ත රාමුව පිළිබඳව තමන් අවබෝධයෙන් ජීවත් වීම හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දුක කියන එක නැති කරන්න බැහැනේ. අවබෝධ වුනාට පස්සේ දුක අපි දන්නේ නැහැ. දුකද කියන්න දන්නේ නැහැ. තේරුණාද? දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ අපි දැනගෙන ජීවත් වෙන්න තියෙන්නේ. අපි දන්නවා මොකක්ද කියලා. අපි කන්නේ මොකක්ද කියලා දැනගෙන කන්නේ. අපි මොකක්ද මේ කරන්නේ කියලා දැනගෙන කරන්නේ. ඒ නිසා ඔබතුමා ඒක දැනගෙන අවබෝධයෙන් ජීවිතයේ මේ ලෞකික ලෝකෝත්තර දෙපැත්ත හරි සමබරව ජීවත් වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක තුළ හෙමිහිට ඇතුළ ගලව ගලව යන්න. අහුවෙන තැන, ඉන්න තැන, හිත පිහිටන තැන, මොකද වෙන්නේ කියලා තමන් දිහා බලන්න.
සභාවේ කෙනෙක්: මට දැනගන්න ප්‍රශ්නයක් තියනවා ස්වාමීන් වහන්ස, අපේ මේ ඇස කියන ඉන්ද්‍රිය තියෙද්දීම, ඇස නිරුද්ධ කරගන්නේ කොහොමද? අපි ඒක ප්‍රබල ලෙස දෙන්න ඕනා විඤ්ඤාණයටද, මනසටද, ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙනවා ඒකට විසඳුමක්.
ස්වාමින් වහන්සේ: ඇයි ඔබ ඇස කියන ඉන්ද්‍රිය නිරුද්ධ කරන්නද දඟලන්නේ?
සභාවේ කෙනෙක්: අපට මේ ඉන්ද්‍රියන් හයෙන් නේද මේ සියලුම දේවල් මනසට ගබඩා වෙන්නේ. මේ සියලු සංඥාවල් ගන්නේ, සංසාර පැවැත්ම ඇති වෙන්නේ සංස්කාර ඇතිවෙන්නේ ඒ ඉන්ද්‍රියන් හරහානේ. ඒ නිසා ස්වාමීන් වහන්ස මේ ඉන්ද්‍රියන් හයම අපට නිරුද්ධ කරගන්න ඕනනේ. මට ඒක පහදලා දෙනවාද ස්වාමීන් වහන්ස?
ස්වාමින් වහන්සේ: එතන ලොකු පැටෙවිල්ලක් තියනවා. ඇත්තටම මම සියලු දෙනාටම පොදුවේ කියන්නේ. මේ නිවන් මාර්ගයේ යද්දී ඔය ඇස නිරුද්ධ කරනවා, විඤ්ඤාණය නිරුද්ධ කරනවා, මමත්වය නැති කරනවා, තණ්හාව නැති කරනවා, කෙලෙස් නැති කරනවා කියලා ඒවා පස්සේ යන්න එපා. එහෙම ගිහිල්ලා කරන්න බැහැ. එහෙම එකක්, එහෙම ක්‍රමයක් නැහැ. මට තේරෙන විදිහට එහෙම බැහැ. මොකද ඔබ ඇස නිරුද්ධ කරනවා කියන එකම ඔලුවට දාගත්ත තැනම, ඔබ ගේට්ටුව ලොක් කරගෙන ඉවරයි. ඔබ විඤ්ඤාණය නිරුද්ධ කරනවා කියන එක ඔලුවට දාගත්ත තැනම, ඔබ අර ඇත්ත විඤ්ඤාණය කෙසේ වෙතත් විඤ්ඤාණය කියලා හිතාගත්ත විඤ්ඤාණයට ඔබ අහුවෙලා ඉවැරයි. මම කියන එක ගැඹුරු වැඩිද මම දන්නේ නැහැ. එතකොට එහෙම දාගන්න යන්න එපා. ඊට වැඩිය ලේහෙසියි නිකන් අමුවෙන් තමන්ව දකින්න. තමන්ගේ හිත අමුවෙන් දකින්න. අමුවෙන් හිත දකින්න කියන එක තේරෙනවාද? සරලව තැනකින් ගත්තොත්, ඔබට සිතුවිල්ලක් පහළ වෙනවා කියන්නකෝ. ලෝභ සිතක්, රාග සිතක්, ද්වේශ සිතක් පහළ වෙනවා කියන්නකෝ.
අපි මෝහ කියන එකක් පැත්තකට දාමුකෝ. ද්වේශ සිතක් ආවේ එහෙම නැත්නම් මේ රාග සිතක් ආවේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ඒක තේරෙනවද?
එතකොට ඒකම ඇතුලට බලන්න දැන් තරහ සිතක් ආවා කියන්නකෝ. තරහ සිතක් ආවා කියලා පේනවා. හෙමිහිට ඕකේ ඇතුලට බලන්න. ඇයි මට තරහ ආවේ? කොහෙන්ද මේ තරහා ආවේ? මොකක්ද මේ තරහ කියන්නේ? ඒ තරහ ඇතුලටම තව බලාගෙන යන්න. ඒක බලන්න පුරුදු වෙන්න. එහෙම බලාගෙන යද්දී අම්මා දන්නේම නැතුව .ඔය ආයතන නිරුද්ධ වෙලා යයි. ඔය ඇස, කන, නාසය, දිව, ශරීරය ඇත්තටම පලි නැහැ. ඇස තියෙන්නේ රූපය පේන්න තමයි. කන තියෙන ශබ්දය අහන්න තමයි. රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගෙත් ඔය ටික තියෙනවා. ඇසට රූපය පෙනෙන එක නතර වෙන්නේ නැහැ.
මම අම්මට ගැඹුරුට පෙන්නන්න යන්නේ නැහැ පැටලෙයි කියලා. අම්මට තරහ සිතක් ආවා නම්, කෙලෙස් සිතක් ආව නම්, කොහොමද මට රාග සිතක් ආවේ කියලා ගැඹුරුට දකින්න. එතකොට ඔය ටික දැනට කරගෙන යන්න.
ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි …..!!!
සත්‍ය අවබෝධ වේවා. ……!!!
සසරින් එතෙර වෙන්න මේ සියල්ල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා……..!!!
මේ ආකාරයට දේශනාව අවසන් වුවත්, එතනදි මහරහතන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනාවක් තමයි සිදුවුණේ. ඒ නිසා දේශනාව තුළ දී ධාතු හසුරුවන්නට නොහැකි වී තිබුණා. දේශනාව තුළ දී උන්වහන්සේ රහත් ඵලයට සමවැදීමක්ද සිදු වී තිබුණා. ඵලයේ ශූන්‍යතාවයට සමවැදීමක් සිදුවුනොත් කාටවත් බණ කියන්න බැරිවෙනවා. ඒක රහතුන් පත්වන ස්වභාවයක්. එවැනි අවස්ථාවකදී පලයෙන් ගැලවිලා දේශනා කරන්න පුළුවන් නමුත් එවිට සත්වයාට දේශනාව ජීවමාන වෙන්නේ නැහැ. උන්වහන්සේ නැවත යක්කලට පැමිණෙන තුරු ද කිසිවක් කිසිවෙකු සමඟ කතා කරේ නෑ.
රහත් ඵලයේ හෝ සම්පූර්ණ නොපැවැත්ම තුලම රැඳී නොසිටිමින් නැවත මනස හරහා පැවැත්ම ගොඩනගාගන්න විවිධාකාර ක්‍රමවේදයන් තිබෙනවා. එහෙම නැතුව ඵලයේම රැඳී සිටියොත් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න බෑ. එතකොට පැවැත්මේ සමබරතාවයද ගිලිහිලා යනවා.
යක්කල මධ්‍යස්ථානයට නැවත පැමිණ, භවනේ රැඳී සිටින අතර උන්වහන්සේට යම් සිංදුවක් ශ්‍රවණය වෙනවා.
සුනිල් දම්විල සිඳී…
සසර ගොහොරේ එරී…
අසරණයි ලෝ දනා…
යළි වඩිනු මැන හිමියනේ…
මේ සිංදුව ඇහෙනවත් එක්ක, උන්වහන්සේට යම් තරමකින් සාමාන්‍ය තත්වයකට එන්න හේතුක් බාහිරින් නිර්මාණය වෙනවා. ඒකෙ කියනවනේ ලෝක සත්වයා අසරණයි, වඩිනු මැන බුදු හිමියනේ කියලා. ඒකත් එක්ක උපදින සංවේගයෙන් ඊටපස්සේ රහත්ඵලයෙන් මිදිලා ආපසු එනවා. මේ සින්දුව ඇහුවට පස්සේ තමයි එහෙම ආපහු පැමිණෙන්නේ. ඒ වෙලාවේම energy ටික set වෙලා, සම්මා සම්බුද්ධයි, මෛත්‍රී බුද්ධයි, මහගුරුයි එනවා. මහගුරු ඇවිල්ලා දේශනාවට හිටපු හැමෝම තුල මිරැකල්ස් මවනවා. ඒ මිරැකල් එක තුලට මෛත්‍රී බුද්ධ ඇවිල්ලා, සම්මා සම්බුදු වරයාගේ සර්වඥතා ඥානය පහළ කරලා, ඒ හරහා මෛත්‍රී බුද්ධ බෝධි චිත්තය විසුරුවා හරිනවා. ඒ අය ලග හේතුඵලයක් නැති වෙන්න පුළුවන් සම්මා සම්බුද්ධ සර්වඥතා ඥානයෙන් ඇවිල්ල හේතුඵල හදනවා. මහාගුරු මිරැකල්ස් හදනවා, මෛත්‍රී බුද්ධගේ මහා මෛත්‍රියෙන් බෝධිචිත්ත වර්ෂාව වස්සනවා.
බොජ්ජංග දේශනා වල තිබෙනවා නේද සතිබොජ්ඣංගෙ කෝ භන්තේ… එකේ සතිබොජ්ජංගය කෝ කියලා අහනවා. ඇයි? එයාට බුදුන් කියලා අමතක වෙලා. තමන්ට තමන් කවුද කියන එක පවා අමතක වෙලා. ඥාන තියෙනවා කියන එක පවා දන්නේ නෑ. ඒ කියන්නේ මේ වගේ, රහතුන්ට හෝ බුදුවරුන්ට තමන් කවුද කියලා තමන්ට මතක් කරලා දෙන අවස්ථා තමයි. එතකොට මතක් වෙනවා තමන් කවුද කියලා.
බෝධි චිත්තය ලංකාවේ සාමාන්‍යයෙන් පවතින ආධ්‍යාත්මික සන්දර්භයයන්හි කතා කරන්නේ නැති වචනයක්. බෝධි චිත්තය ගැන ඇත්තටම කතා කරන්නේ මහායානය තුළ. බුද්ධ දර්ශනය ගත්තම, ඒකේ අරටුව තමයි මහායානය කියන්නේ. මහායානය කියන්නේ එක් පැතිකඩකින් විශාල යානය කියන එකයි. සම්මා සම්බුදුවරයෙක් ලෝකයේ පහළ වෙන්නේ මහායානයේ ප්‍රධාන යාන්ත්‍රණය තුළයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි මහ රහතන් වහන්සේලා පහළ වෙන්නේ මහායානය තුළ. ඒ කියන්නේ ලොකු යානයක් කියන එකයි, මහායානය තුළ ඉන්න කෙනෙක්ට හිතෙන්නෙ නෑ මම තනියෙන් නිවන් දකින්න ඕනා කියලා. එයාට හිතෙන්නේ, සත්වයාටත් සේවය කරලා, සත්වයාත් එතෙර කරගෙන, සත්වයාත් එක්ක තමයි මම නිවන් දකින්නේ කියලා. ඒ හැඟීම, දැනීම තමයි මහායානය. හීනයානය කියලා කියන්නේ කුඩා යානය කියන එකයි. හීනයානයේ ඉන්න කෙනෙක්ට ඇතිවෙන්නේ මම කොහොමද නිවන් දකින්නේ කියන අදහසයි. මහායානයේ කෙනෙකුට ඇතිවෙන්නේ මම කොහොමද නිවන් දකින්නේ කියන එක නෙමෙයි. මට නිවන් දකින්න ඕනා තමයි, හැබැයි මට සත්වයාටත් දෙයක් කරලා, මේ මිනිස්සු වෙනුවෙනුත් දෙයක් කරලා තමයි නිවන් දකින්න ඕනා කියන අදහස තමයි ඒ අයට තියෙන්නේ. එතකොට මේ දෙකොට්ඨාසම මේ සමාජයේ ඉන්නවා. එක කොට්ඨාසයක් ඉන්නවා, තමන්ට නිවන් දකින්න විතරයි ඒ අයට ඕනේ. කොහොම හරි නිවන් දකින්න ඕනා. ඒක හීනයානය. මහායානය කියන්නේ එහෙම එකපාර නිවන් දකින්නට කැමති පිරිසක් නොවෙයි. තවත් සත්වයන් පිරිසකට සේවය කරලා, මිනිස්සුන්ට යමක් කරලා, මිනිස්සු වෙනුවෙන් වැඩක් කරලා තමයි ඒ අයට විමුක්තිය ලබා ගන්න ඕනා. පරාර්ථකාමී හැඟීම කියන දේ, නිකන් ගන්න බෑ, ඒක ඇතුලෙන් එන්න ඕනා එකක්. ඒක තමයි මහායානය කියන්නේ. එතකොට මහ රහතන් වහන්සේලා, බුදුවරුන් පහළ වෙන්නේ මහායාන සංකල්පය තුළ. ඒ කට්ටිය තමයි මිනිසුන් වෙත ගිහිල්ලා බණ කිව්වේ. බුදුහාමුදුරුවෝ අතලොස්සයි බණ කිව්වේ. බුදුන් වහන්සේ හැමෝගාවටම ගිහිල්ලා බණ කිව්වේ නෑ. මොකද බණ කිව්ව අය අයිති වෙන්නේ, මහායානයට. අනිත් අය අයිති වෙන්නේ හීනයානයට. හීනයානයේ අය නිර්වාණය අවබෝධ කරගෙන ඊට පස්සේ පැත්තකට වෙලා තමන්ගේ මග, පල, සුවය විඳිමින් හිටියා. මහා යානයේ අය එහෙම නෑ. ගම් වලට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා, කන්න බොන්න නැතුව, ඇවිදලා, මිනිස්සුන්ගෙන් බැනුම් අහා අහා බණ කියමින් සත්වයා වෙනුවෙන් සේවය කරන තැන තමයි ඒ කට්ටියගේ සතුට තිබුණේ. මේක එළියට දීම තුළ. එතකොට ඒක තමයි මහායානය කියන්නේ.
හීනයානය කියන එක තව කොටස් වලටත් කැඩිලා යනවා. ගුරුකුල කියන ඒවා හැදෙන්නේ මේ විදියට කොටස් වලට කැඩිලා ගිහිල්ලා. ගුරු කුලයක් හැදෙන්නේ ගුරුවරයෙක් ඇතිවෙලා ඒක වටා පිරිසක් එකතු වීමෙන්. ඒක වෙනම එකක්. ඒක තන්ත්‍ර වෙන්න පුළුවන්, ඒක විඥානවාදය වෙන්න පුළුවන්, සර්වස්තිවාදය වෙන්න පුළුවන් මේ විදියට විවිධ ගුරුකුල හැදෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ අංශක 360ටත් වඩා දකිමින් සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක්නේ. එතකොට අපි හිතමු, දැන් හත් දෙනෙක් ඉන්නවා නම්, හත්දෙනාගේ මාධ්‍ය වෙනස්, හැඩරුව වෙනස්, හිතන විදිය වෙනස්, මනස වෙනස්, කර්මය වෙනස්, මමත්වය වෙනස්, එතකොට ඒ එක එක්කෙනාට වෙනස් සූත්‍ර තියෙනවා. හැමෝටම ධර්මය අවබෝධ වෙන්නේ එකම ක්‍රමයකට නොවෙයි.
අද ලංකාවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු කෙනෙක්ට ධර්මය අවබෝධ වුණේ භාවනා කරලා කියලා. එයා කියනවා නිවන් දකින්න නම් භාවනා කරන්නම ඕනා කියලා. සමහර අයට එහෙම විශේෂයෙන් භාවනා කරන්න ඕන නෑ. සිහියෙන් අවධිමත්ව ඉන්න කොට, එයාට ධර්මය අවබෝධ වෙනවා. එතකොට එයා කියනවා භාවනා කරන්න ඕනෙ නෑ, අවිධිමත්ව ඉන්න, සිහියෙන් ඉන්න කියලා. සමහර කෙනෙක්ට ත්‍රිපිටක බලලා පරිශීලනය කරගෙන යනකොට, ඒකේ තියෙන ගැඹුරු ධර්මය තේරිලා එයා කියනවා අනිවාර්යෙන් ත්‍රිපිටකය බලන්න ඕනා කියලා. සමහරෙකුට ඔය මොකුත් ඕනේ නෑ. සක්මන් කරනවා. සක්මන් කරලා සක්මන් කරන කොට එයාගේ සිහිය වැඩෙනවා. එයා කියනවා, මොකක් කරත් වැඩක් නෑ, සක්මන් කරන්න ඕනේ කියලා. එතකොට මොකක්ද ඇත්ත? බුද්ධිය අවදි වෙලා තිබුණොත් ත්‍රිපිටකය නෙවෙයි, අසූචි වළක් දැකලා, ගහකින් කොළයක් වැටෙනවා දැකලා හෝ කාන්තාවක් දැකලත් නිවන් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුළ, එක් එක් අයට දීපු ක්‍රමවේදයන් වෙනස්. එතකොට කෙනෙක්ට මේ මොනවා හරි ක්‍රමවේදයකින් අවබෝධයක් ලැබුනම, මග පලයක් ලැබුණාම එයා කියන්න පටන් ගන්නවා එයා කරපු ක්‍රමය තමයි හරි කියලා. ඒ විදියට කෙනෙක් සමථ විදර්ශනා වඩලා, ඒ ක්‍රමය තමයි හරි කියද්දී, එයාගේ වටා පිරිසක් එකතු වෙනවා ඒ ක්‍රමය හරියි කියාගෙන. එතකොට එතන වෙනම ගුරුකුලයක් හැදෙනවා. තව කෙනෙක් සක්මන් කරමින් ඉඳලා කියනවා, සක්මන් භාවනාව තමයි හරි කියලා. සතිය මුලික කරගෙන තව කෙනෙක් වටේ වෙනම කල්ලියක් හැදෙනවා. එතකොට එහෙම හැදිච්ච කල්ලි ගණනාවක් තියෙනවා මේ වෙනකොට ලෝකයේ. ඒ වගේ ඒවා එකතුවෙලා හැදුනු කල්ලියක් තමයි ඔය හීනයානය. හීනයානයෙනුත් කැඩිලා හැදුනු තව එක පොඩි කල්ලියක් තමයි, ථේරවාදය කියන්නේ. එතකොට ගහ තියෙනවා, ගහෙනුත්, අත්තකින් තව අත්තක් කැඩිලා ගිහිල්ලා එළියට ගියපු අතු කෑල්ලක් තමයි ථෙරවාදිය කියලා කියන්නේ. එතකොට තායිලන්තයේ, ශ්‍රී ලංකාව වගේ ථේරවාදී කියන එක තමයි මුල් බැසගෙන ඉන්නේ. නමුත් ඉතින් යථාර්ථය තේරුම් ගන්නවා කියන එකට ඔය කිසිවක් අදාල නෑ. යථාර්ථය මොකක්ද කියන එක තේරුම් ගත්තම ප්‍රශ්නය ඉවරයි. ඒකට focus එක දෙන්නයි ඕනේ.
බුද්ධ විෂයයට අයිති කාරණා තියෙන්නේ මහායානය තුළ. එතන තමයි බෝධි චිත්තය ගැන කතා කරන්නේ. ඔබ ඕනෑම තැනක, අන්තර්ජාලයේ හෝ බෝධි චිත්තය ගැන හෙව්වොත් එහෙම, ථෙරවාදී හෝ මහායාන සම්ප්‍රදායන්හි කිසිම තැනක බෝධි චිත්තය ගැන නිවැරදිව හම්බ හම්බවෙන්නේ නෑ. ඒක ඇත්තටම හම්බවෙන්නේ මහායානය තුළ බුදුවරු ඇසුරු කරගෙන. බුදුවරු හරහා ලැබෙන විශේෂ දහම් විවරණයක් වගේ එකක් ඒක.
අපි මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා, කන් ඇහෙන්නෙත් නෑ. එහෙමත් නැත්නම්, එයාට ප්‍රඥාව නැහැ කියලා හිතන්නකෝ. ඒ නිසා කිව්වට දෙයක් තේරෙන්නෙ නෑ. එයාට බුදු කෙනෙක් කුමක් හෝ විදිහකට මුණගැහිලා, ඒ වෙලාවේ බුදු වරයාට අවශ්‍ය වෙලා තිබුණු දෙයක් දැකලා අවංකව පූජා කරනවා. නමුත් මෙයාට බණක් කිව්වට තේරෙන්නෙ නෑ. මාර්ගයක් කිව්වට තේරෙන්නෙත් නෑ. දහම කිව්වට ඒක ඇහෙන්නෙත් නෑ. කිව්වට තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවකුත් නෑ. කන් ඇහෙන්නෙත් නෑ. එහෙම කෙනෙක් අසරණයි නේ. නමුත් වඩාත්ම අසරණකම එන්නේ අර පූජා කරපු දේ ගත්ත කෙනාට. “මම කොහොමද මෙයාට පිහිට වෙන්නේ” කියලා බුදු කෙනා තුළ ඇතිවෙනවා, අසරණකමක්. මම කොහොමද මෙයාට පිහිට වෙන්නේ. මේ කුමක් හෝ විදියකින් බුදුවරයා තුල අසරණකමක් යම් කිසි කෙනෙකුට පහල කරන්න පුළුවන් නම්, අන්න එයාට බෝධි චිත්තය පහළවෙනවා. බෝධි චිත්තය කියන්නේ, බුද්ධ කියන එකට අදාළව, චිත්තයක් බීජයක් ඒ කෙනා තුළ රෝපණය වෙනවා. වෙන කරන්න දෙයක් නෑ. බීජයක් රෝපණය වෙනවා. ඒකට කියනවා බෝධි චිත්තය කියලා. එතැන් සිට ඒ කෙනා තුළ බුද්ධිය අවධි වෙන්න පටන් ගන්නවා.
මෛත්‍රී බෝසතාට බෝධි චිත්තය ලැබෙන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙර පහල වෙලා සිටි සම්මා සම්බුදුවරු හතකට කලින් වගේ. නියැන්ඩතාල් වගේ පෙනුමක් තමයි ඒ කාලේ අයට තිබුණේ. ඒ තමයි ඒ බුදු කෙනෙකුට අසනීපවෙලා, බෙහෙත් අල ජාතියක් හොයනවා. ඒ අතර, කැලෑවට වැදිලා, සතෙක් වගේ ජීවත්වෙන මනුස්සයෙක් ඉන්නවා. එයා කැලෑවේ ඉන්නේ වැද්දෙක් වගේත් නෙමෙයි, කැලේ ජීවත් වෙන මනුස්සයෙක්. ඔහුභවැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයි. ඒ අහල පහලක නගරයක් කියලා එකක්වත් නෑ ඇත්තටම. කැලේ ඇතුලේ සතා වගේ තමයි මේ කෙනා ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙද්දී, මේ කැලෑවැදි මනුස්සයාට කොහෙන් හරි ආරංචි වෙනවා, නගරයෙන් අයින් වෙලා ඉන්න කෙනෙකුට, අල ජාතියක් ඕනා වෙලා තියෙනවා කියලා. කැලෑ වැදි කෙනා දන්නවා, ඒ අල තියෙන්නේ කොහෙද කියලා. ඔහු ගිහිල්ලා, අර අල ජාතිය හොයාගෙන අරන් එනවා. එයා දන්නේ නෑ මේ අවශ්‍යතාවය තියෙන කෙනා බුදුවරයෙක් කියලා. එයා ඒ අල ටික අරං එනකොට එතන දෙන්නෙක් ඉන්නවා. මේ කැලෑවෙදි කෙනා අල ටික අල ටික දීලා අනිත් පැත්තට හැරිලා එනවා.
මෛත්‍රී බුදුන් බුදු වුණාට පස්සේ තමයි දකින්නේ එදා මොකක්ද උනේ කියලා. බුදුවරයා ඒ බෙහෙත් අල ටික දීලා ආපසු හැරිලා යන්න හදන කෙනාගෙන් අහනවා, “මොකක්ද ඔබට මගෙන් වෙන්න ඕනා?” කියලා. එතකොට ඒ කෙනා අනිත් පැත්තට හැරිලා කියනවා, “මම යමක් දෙන්නේ, යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි” කියලා. ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව, කට කොනෙන් හිනාවකුත් දාලා අනික් පැත්ත හැරිලා ඒ කෙනා එනවා. කැලෑවේ ඉන්න කිසිම දැනුමක් නැති මෝඩ මනුස්සයෙක්නේ. කැලෑවේ ඉන්න වානරයෙක් වගේ කෙනෙක් නමුත් මෝඩකම නිසා පණ්ඩිතයි. බුදුවරයා ඊට පස්සේ කියනවා, ඔබට ඕනා දේ මම දුන්නා කියලා. එතනදී තමයි පළවෙනි බෝධි චිත්තය හම්බවෙන්නේ. අත්‍යවශ්‍ය දෙයක් බුදුවරයාට දීලා, දැන් බුදුවරයාට ඒ ගනුදෙනුව ඉවර කරන්න ඕන. ඒක නිසා තමයි ඊට පස්සේ අර බුදු වරයා අහන්නේ, “ඔබට මොනවද ඕනේ?” කියලා. ඒ වෙලාවේ ඒ කෙනා යන්න කලින් අර බුදු වරයාට කියනවා “සදාකාලික කිසිවක් නොමැත” කියලා. එහෙම කියන්නේ ඒ වෙලාවේ බෝධි චිත්තය පහළ වෙලා. හැබැයි ඒ වෙලාවේ එයාට හිතෙන්නේ, ඒක නිකං තමන්ට හිතුණු දෙයක් කියලා. නමුත් බෝධි චිත්තය ලැබුණු නිසා තමයි, සදාකාලික කිසිවක් නෑ කියන එක එයාට හිතෙන්නේ. එහෙම කියලා තමයි ඒ කෙනා අනිත් පැත්ත හැරිලා යන්නේ. මෛත්‍රී බුදුවරයා මේ භවයේදී තමයි දකින්නේ, එදා ඒ බෙහෙත් අල ටික අවංකව දුන්නු එකේ ආනිසංස විපාක විදිහට තමයි පලවෙනි බෝධි චිත්තය පහළ වෙලා තියෙන්නේ කියලා.
“සදාකාලික කිසිවක් නැත” කියන සදාකාලික එකම දේත්, යථාර්ථය සත්‍ය කියන දේත් වෙනස් වෙන්නේ නෑ. සදාකාලික කිසිවක් නැත්නම් කොහොමද විවරණයක් දෙන්නේ. ඒ මෛත්‍රී බෝසතාණන් අද මෛත්‍රී බුදුන් වෙලා ඉන්න තැනට ඒ “සදාකාලික කිසිවක් නැත” කියන වචනය වලංගු නෑ කියන එක ඔබට තේරෙනවද? අද මෙතනට එන්න ඒ චිත්තය වලංගුයි නේ. එතකොට එතන තියෙන්නේ, බුද්ධ ස්වභාවයේ ස්ථිර භාවය.
බෝධිචිත්තය හට ගන්නේ බුදුවරයෙක් අසරණ වුනාම. එදා ඒ බුදුවරයාට දුන්නු දේ වෙනුවෙන් කිසිම දහම් වචනයක්වත් දෙන්න බෑ, මේ කැලෑ වැදි කෙනාට. මොකද ඔහු දෙයක් කරන්නේ, කිසි දෙයක් බලාපොරොත්තුවෙන් තොරව. ඒක තමයි ඒකේ ස්වභාවය, නියම ස්වභාවය, පිරිසිදු ස්වභාවය කියන පණිවිඩය බුදුවරයාට දීලා තමයි ඒ පුද්ගලයා යන්නේ. හැබැයි එයා ඒ පණිවිඩය දෙන්නේ බුදු කෙනෙක්ට.
ඒ බුදුවරයාට දැණුනු අසරණ කම නිසා තමයි මෛත්‍රී බෝසතාගේ පලවෙනි බෝධිචිත්තය හටගත්තේ. හැබැයි බෝධිචිත්තය හටගත්තා කියන්න ඔහු දන්නේ නෑ. මොකක්ද වුනේ කියන්න දන්නෙත් නෑ. අනිත් පැත්තට හැරිලා යද්දී, සිතුවිල්ලක් පහල වෙනවා “සදාකාලික කිසිවක් මේ ලෝකයේ නොමැත” කියලා. එදා ඒ බෝධිචිත්තය ලැබුණු නිසා හට ගත්ත සිතුවිල්ලක් තමයි ඒක කියන එක බුදු වෙලා තමයි තේරුනේ.
එතකොට බුදුවරයා “ ඔබට මොනවද ඕනේ?” කියලා අහපු නිසා අර පුද්ගලයා බුදුවරයාව දැක්කේ, “ මොනවද මෙයා දන්නේ? අඩුම ගානේ දෙන්නවත් දන්නේ නෑනේ”. එතන බුදුවරයා උත්සාහ කරේ ගනුදෙනුවක් නිර්මාණය කරන්න. හේතුඵලයක් හදන්න උත්සාහ කරේ. බුදුවරයාගේ ක්‍රමය ඒක. හේතුඵල හදන එක. ”මෙයා මොනවද දන්නේ” කියලා හිතපු තැන, ඒ කෙනාගේ ගේ පාරිශුද්ධත්වය තමයි ඔප්පු වුනේ. ඔබට දුන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කියන එක තුළ පාරිශුද්ධත්වය තමයි ඔප්පු වුනේ. ඒ තුල එයාට කර කියාගන්න දෙයක් නොමැති කම නිසා, ඒ පාරිශුද්ධත්වය දැකලා තමයි, එයාගේ පලවෙනි බෝධිචිත්තය ලැබෙන්නේ.
මෛත්‍රී බෝසතාට එච්චර දුර එන්න වුනා, එදා ලැබුණු බෝධිචිත්තය ඇත්තටම ලැබුණු විදිය තේරුම් ගන්න. බෝධිචිත්තයක් ලැබෙන්න වෙන කිසිදු ක්‍රමයක් නෑ. අවංක ක්‍රියාවක් නිසා බුදුවරයා අසරණ වෙන්න ඕනා. ඒ අසරණකම හේතු කොටගෙන තමයි බෝධිචිත්තය ලැබෙන්නේ. අසරණ සරණ විමක් තමයි එතනදි වෙන්නේ. බෝධිචිත්තය ලැබුණ කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක් එහෙමත් නැත්නම් bonus එකක් තමයි, ඊළඟට එයාගේ බෝධිචිත්තය update වෙනවා. බොහෝ විට ආයෙත් බුදුවරු මුණගැසෙමින්, නැවත නැවතත් අවංක ක්‍රියාවන් හරහා මේ සංසිද්ධියම සිදුවෙමින්, බෝධිචිත්තය update වෙන ඒ path එකේ තමයි යන්නේ. ඒ විදියට බෝධි චිත්තය ලැබුණු කෙනෙකුට ඊළඟට තියෙන ආනිසංසය තමයි, එයා මෙලොව මොන ආගමක, මොන කුලයක ඉපදුනත්, සත්‍ය මාර්ගය පිළිබඳ ඉව එයාට තියෙනවා. හරි දේ දන්නෙත් නෑ, හැබැයි මේක නෙවෙයි හරිදේ බව දකින්න, ඊට වැඩිය දෙයක් තියෙන්න ඕනා කියන එක එයාට ඉවකින් වගේ තේරෙනවා. එයාව රවට්ටන්න බෑ. එයාගේ ස්වයං දැක්ම පහල වෙනවා. එයාව නතර කරන්න බෑ කාටවත්. එයාට ඉවක් වගේ දෙයක් පහළ වෙනවා. මෛත්‍රී බෝසතාට බෝධිචිත්තය ලැබුණ ගමන් කියනවනේ සදාකාලික කිසිවක් නොමැත කියලා. කොහොමද එහෙම කියන්නේ. බෝධි චිත්ත නිසා ඇතුලෙන් දැනෙන බුද්ධියෙන්. එතනම එයාට බුද්ධිය පහළ වෙලා නේද? එයා හිර කරන්න බෑ කොහෙවත්. Automatically ඒ බුද්ධිය මතුවෙලා එනවා. කාලය පිළිබඳ කිසිවක් අදාල නෑ.
ඒ වගේම මේ බෝධිචිත්තය ලැබුණු කෙනාට බුදුවරු නැවත මුණගැසෙන විට, බෝධි චිත්තය පිළිබඳ විවරණය ඒ බුදුවරුන්ගෙන් බොහෝ විට ලැබෙනවා. ඒක නියත විවරණයක් නොවෙයි. විවරණයට ඒක සම්බන්ධයක් නෑ. ඒ දෙක පටලගන්න එපා. ඒක වෙනම පැත්තක්. විවරණයක් කියන්නේ මොකක් හරි මග ඵලයක් ලබලා ඉන්න කෙනෙකුට ඒක විවර කරලා පෙන්නනවා කියන එකයි. උදාහරණයක් විදියට, ඔබ මොනවා හරි දෙයක් පානය කරනවා කියලා හිතන්න. ඔබ දන්නේ නෑ ඒකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට එයාට පෙන්නලා දෙනවා, ඔබ බොන දේ, මෙන්න මේ වගේ පානයක්. මෙහෙමයි ඒක හැදිලා තියෙන්නේ කියලා. ඒක විවර කරලා පෙන්නනවා. ඒක තමයි සුවිසුද්ධං අහෝසි කියලා කියන්නේ. එතකොට එයාට ඒක පැහැදිලි වෙනවා. “මේක තමයි මට වෙලා තියෙන්නේ. ඒක තමයි මගේ මාර්ගය, ඒක තමයි මට එහෙම හිතුනේ. මට එහෙම දැනෙන්නේ.” ආදී ලෙස තමන් පිළිබඳව පැහැදිලි වෙනවා. විවරණය දෙනවා කියන්නේ යමක් විවර කරලා පෙන්නනවා කියන එකයි. එතකොට ඒ විවරණය ලැබුණු කෙනාට යම් දැක්මක් පහළ වෙනවා.
“මේ ලෝකයේ සදාකාලික කිසිවක් නොමැත” කිව්වට බුදුවරයෙක්ගේ වචනය සදාකාලිකයි කියන දේ ඔබට වැටහෙනවද? එතනදි “වචනය” කියන්නේ වචනයම නෙවෙයි. ඒක න්‍යායට අනුකූලයි, න්‍යාය වෙනස් වෙන්නේ නෑ. වචන වෙනස් වෙනවා. න්‍යාය වෙනස් වෙන්නේ නෑ.මෙතනදි බුදුවරයෙක් අසරණ වුනාම තමයි බෝධිචිත්තය හටගන්නේ කියන දේ තමයි න්‍යාය. එතකොට ඒ ධර්මතාවයන් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. ඒ කියන්නේ “සදාකාලික කිසිවක් නෑ” කියන එක සදාකාලිකයි. එතකොට ඒ වගේ සමහර අද කියන කාරණා දැන් තේරෙන්නේ නෑ. හැබැයි යම් දවසක තේරෙනවා. හැබැයි ඒ තේරෙනකම් අල්ලගෙන ඉන්න පුලුවන් හැකියාව තමයි “ශ්‍රද්ධාව” කියන්නේ. එහෙම නැත්තන් තව එකක් තියනවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. කල්‍යාණ මිත්‍රයෙක් විදිහට අල්ලන් ඉන්නවා. එහෙම නැත්තන් ශ්‍රද්ධාව මත පිහිටලා අල්ලන් ඉන්නවා. ඔය දෙකෙන් තොර විසඳුමක් නෑ.
ඔබ පාසල් ගිහින් ඉගෙන ගන්න කොට ගුරුවරයා ඇත්තද කියන්නේ, බොරුද කියන්නේ කියලා කොහොමද දන්නේ? ඔබ යම් විශ්වාසයක් මත, එහෙම නැත්තං ශ්‍රද්ධාව මත, නැත්තං කල්‍යාණ මිත්‍රත්වය මත අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන කාලයක් ගියාට පස්සේ තමයි මොනවද ඉගැන්නුවේ කියලා තේරෙන්නේ. අද තමයි තේරෙන්නේ සමහරවිට එදා උගැන්නුවේ මොනවාද, ඇයි ඉගැන්නුවේ, මොකද්ද වැදගත් කම කියලා. ශ්‍රද්ධාවයි, කල්‍යාණ මිත්‍රත්වයෙනුයි තොරව ධර්මයක් දකින්න බෑ. ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න වෙන ක්‍රමයක් නෑ. ඒ දෙක තමයි. ශ්‍රද්ධාව මත හෝ කල්‍යාණ මිත්‍රත්වය මත පිහිටන්න ඕනේ.
මෙතන තව දෙයක් තියෙනවා. ඔබට තේරෙනවද න්‍යාය සදාකාලිකයි කියනදේ. ඒ කියන්නේ “බුදුවරයා අසරණ වීම නිසා බෝධිචිත්තය හටගැනීම” කියන න්‍යාය තියනවානේ. ඒක සදාකාලිකයි. එතකොට “සදාකාලික කිසිවක් නොමැත කියලා අර කැලෑවද කෙනාට හිතෙන දේ, ඒක එයාට විතරයි වලංගු. ඒක එයාට ආපු සිතිවිල්ලක්. මනුස්සයන් විදිහට ඔබගේ ලෝකය තුල සදාකාලික කිසිවක් නෑ කියලා ඔබට අවබෝධ වෙන ධර්මතාවය හරි. එතකොට සදාකාලික වෙන්නේ මොකක්ද? ඒ තමයි න්‍යාය. ඒක බුද්ධ විෂයයට අදාල එකක්. ඒකයි ඒක සදාකාලික වෙන්නේ. “සදාකාලික කිසිවක් නොමැත” කියන ධර්මතාවය ඔබගේ ලෝකයට වලංගුයි. ඒකට හේතුව බුදුවරයා යම් තැනකදී කථා කරන්නේ සංස්කාර පද්ධතියෙන් තොරවයි. එතනදි එයා ධර්මය බවට පත්වෙලා. ඒ මොහොතේ කථා කරන එක තුල එයා තමයි ඒ ධර්මතාවය. එතකොට එයාට ඒ ධර්මතාවය සදාකාලිකයි, සදාතනිකයි. මොකද ධර්මය නිත්‍යයිනේ.අපි කියමු අනිත්‍ය, නොපැවැත්ම කියන එක ගත්තහම ඒක බුද්ධ ස්වභාවය. නොපැවැත්ම කියන්නේ බුද්ධ ස්වභාවය.
ඔබට නොපැවැත්ම කියන දේ, එහෙම නැත්නම් බුද්ධ ස්වභාවය කිව්වොත් ඒක නිත්‍යයි. ඒක බුද්ධ ස්වභාවයක් කියලා කියනවා. ඒක නිත්‍ය ස්වභාවයක්. එතකොට ඔබ නොපැවැත්ම කියලා කියන්නේ, ඔබට හැඟෙන එකක්. ඒ හැඟෙන එකකට නොපැවැත්ම කියන එක පට්ටපල් බොරුවක්. නොපැවැත්ම කියන එක ඔය කට්ටිය තුල හටගන්නේ නිත්‍ය විදිහට. නොපැවැත්ම කියලා එකක් තියෙන විදියට.
නමුත් බුදුවරයා තුල නොපැවැත්ම කියන දේ ස්පර්ශ වෙනවා. බුදුවරයාට නොපැවැත්ම කියන දේ තියෙන එකක් නෙවෙයි. එයාට නොපැවැත්ම කියන දේ දර්ශනයක්. ඒ දර්ශනයි, අවබෝධයි feel වෙනවා. එයා කියන එක තුල නොපැවැත්ම කියන එක තියනවා කියලා එකක් නෑ. ඔබ “නොපැවැත්ම” කියලා කියන එක ඔබට තියෙනවා. නිත්‍යයක් ඇතුලේ එක තියෙනවා සහ ඒක condition කර ගන්නවා. ඔබ නොපැවැත්ම කියන එක condition කරගෙන ඉන්නේ. බුදුවරයාගේ නොපැවැත්ම කියන එක අල්ප මාත්‍රයෙන් මාත්‍රයට update වෙනවා. නොපැවැත්ම කියන එක කියන්නවත් බෑ. ඒ තරම් නොපැවැත්ම කියන දේ බුදුවරයාට feel වෙනවා.නමුත් ඔබට නොපැවැත්ම තියෙන්නේ ධර්මතාවයක් විදිහට, මතයක් විදිහට හෝ සංකල්පයක් විදිහට.
නුවර දේශනාවෙන් දින කිහිපයකට පසු මහාගුරු තම හිතවතුන් පිරිසක් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින අතර ඔවුන්ට මෙසේ පැවසුවා.
මහාගුරු: මෑත කාලයේ සිද්ධීන් ගණනාවක් උනානේ. ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔබලාට ප්‍රශ්න තියෙනවා නම් විසඳගන්න අවස්ථාව තමයි මේ. මේ වෙලාවේ ඕන දෙයක් ඇහුවොත් උත්තර තියෙනවා. නැතිනම් කිසිම දෙයක් පැහැදිලි කරන්න හේතුවක් නෑනේ.
මංජු ශ්‍රී බෝසතුන්: නුවර දේශනාවෙදි, audience එකට සාපේක්ෂව නේද ධර්මය ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ මුලදි audience එකේ හිටපු අයගේ යම් පාරමී කොටසක් සම්පූර්ණ කරනවා, සමස්ථය තුළ ඇත්තේ අත්හැරීමක් බව පෙන්වා දීලා. ඊට පස්සේ ඒ සම්පූර්ණ වූ පාරමී භූමිය තුළ, සෝවාන් සිට රහත් ඵලය දක්වා මාර්ගය දේශනා කරනවා. ඔබ වහන්සේ එතනදි රහත් ඵලයට ගියා කියලා කිව්වා. තව අවස්ථාවකදී කිව්වා, මහාගුරු ඇවිල්ලා මාව මෙහේ අතරමං කරලා දාලා ගියා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එතකොට ඒක වුනෙත් ඒ අවස්ථාවේම ද?
මහාගුරු: නැහැ, ඔබ අහනකොටම මට ඒකට නැහැ කියන්න උවමනාව තිබුණා. ඒක වෙන්නේ ඇත්තටම මෙහෙමයි. මහාගුරු මාර්බල් බීච් එකේදි කියනවනේ ප්‍රාතිහාර්ය පානවා කියලා. යක්කල දේශනාවෙදි චතුරාර්ය සත්‍යය දේශනා කරනවා. එතන ඉන්න හැමෝම නිවන් දකිනවා. හැමෝම සෝවාන් ඵලයට පත්වෙනවා. නුවර දේශනාවෙදි, බෝධි චිත්ත වර්ෂාවක් වස්සවනවා, ප්‍රාතිහාර්යය කියන න්‍යයායට අනුව, ඒ condition එකට අනුව. ඔබ දැක්කනේ, මහගුරු පොළොවට ගහලා ප්‍රාතිහාරය පානවා කියලා දිවුරනවා Trincoවලදී?
ඇත්තටම Trinco කියන්නේ, ශිවගේ භූමිය වගේ එකක් තමයි. ශිවගේ බලය තියෙන තැනක් එතන. Trinco, Nilaweli දෙකම එක වගේ.
එතනදි දිවුරුව එකට අනුව, ඒ අධිෂ්ඨානය මතතමයි, හේතුඵල ධර්මය ගොඩනැගෙන්නේ. එතකොට මා නුවරදී දේශනා කරන ධර්මය දේශනා කරන්නේ එතන තියෙන හේතුඵලයට නෙවෙයි. මහාගුරුගේ ප්‍රාතිහාර්ය පාන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා, ඒ අනුව සත්වයාට ඒ වෙලාවේ යමක් වෙන්න ඕන නිසා සිද්ධවෙන දෙයක්. ඒක මා විසින් හිතා මතා කරන දෙයක් නෙවෙයි. මහාගුරුගේ plan එකට අනුව සිද්ධවෙන දෙයක්. එතකොට එතනදි මා රහතන් වහන්සේ කෙනෙක් ලෙසයි දේශනා කරන්නේ. එතනදි මා දේශනා කළා කියලා කියන්නත් පුළුවන්. මම තමයි දේශනා කරන්නේ. හැබැයි ඒක මහාගුරු විසින් ගොඩනඟපු ක්‍රමවේදයක්.
ඔබට සමහරවිට මතක ඇති ඒ දේශනාවේදී අහන පළවෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයෙන් පවා හේතුඵල ධර්මයක් නොමැති බව සභාවේ ප්‍රකාශයට පත් වෙනවා. ඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවෙයි, එයා ගෙන ආවෙ තර්කයක්. එතකොට එතන හේතුඵල ධර්මයක්වත් නැහැ. මහරහතන් වහන්සේ නමකට එතන හේතුඵල ධර්මයක් ගොඩනැගිලා නැහැ. ඒ නිසා එයාට උත්තර දෙන්නවත් හේතු නැහැ. එතනදී මහාගුරුට ප්‍රාතිහාර්යය පෑම වෙනුවෙන් එතන හැදෙන්න ඕනා කාරණා සකස් වෙන එකයි වෙන්නේ.
නුවර දේශනාවවට ආපු හැමෝගෙම ඥානය වැඩ කරනවා, බුද්ධිය වැඩ කරනවා. හැමෝටම තමන්ව මේ මොහොතේ process වෙන එක පෙනෙනවා. හිතන විදිය වෙනස් වෙනවා. ඒක මහාගුරුගේ අධිෂ්ඨානයත් එක්ක සිද්ධ වෙන විපර්යාසයක්. බෝධිචිත්ත වර්ෂාවෙන් පස්සේ, ඒ වර්ෂාව කොච්චර ප්‍රබලද කිව්වොත් මහාගුරුට දැන් කාලය දැනෙන්නේ නැහැ. අර මං කියන්නේ දවසට අවුරුදු දාහක් ගෙවන්න ඕනා කියලා. කාලය දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි, අර මහා වර්ෂාව නිසා කාලය කියන එකක් නැති වෙනව. මේ වැඩසටහනින් පස්සේ මට කාලය කියල එකක් නැහැ. කාලය කියල එකක් generate වෙන්නෙ නැහැ. ඒ වෙලාවේ මගේ කාලය ඉවර වුණා ඒ දවසේ. ඊට පස්සේ ආයේ කාලය එන්නේ නෑ, ඒ දවසට. කාලය හරහා ආපස්සට ගිහිල්ලා තමයි, බෝධි චිත්ත වර්ෂාව වස්සපවන්නේ ඇත්තටම. ඒ වෙලාවේ කාලය හරහා ගමන් කරනවා දෙසැරයක්ම. එක්වරක් කාලය හරහා ගමන් කරලා බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. නැවත අර බුදුන්ට වඩින්න කියලා තමයි, කාලය හරහා ගිහිල්ලා ඒ වර්ෂාව වස්සවන්නේ. මොකද ඒක අලුත් කාලයකින් ගිහිල්ලා වස්සවන්න බෑ. එතකොට මගේ කාලය ඉවරයි. ඔබට අහන්න යමක් තියෙනවද ඒ ගැන?
මංජු ශ්‍රී බෝසතුන්: රහත් ඵලයට ගියේ දේශනාව අතර තුරද?
මහාගුරු: දේශනාව කරන අතරතුර තමයි රහත්ඵලයට ගියේ. දේශනාව තුළ මා මාර්ගය පෙන්නනවා සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය ලෙස. අරහත් ඵලයට ගියාට පස්සේ ඒ ඵලය තුළම සිටිනවා.
මංජු ශ්‍රී බෝසතුන්: ඒක එහෙම වෙන්නේ feel කරගෙන යන හින්දාද?
මහාගුරු: ඔව්, ඒක කියද්දි මමත් ඒකත් එක්ක යනවා.
මංජු ශ්‍රී බෝසතුන්: ඒක වෙනම තියලා, ඒ කියන්නේ ඒක බවට පත්නොවී කරන්න බැරිද?
මහාගුරු: එහෙම කරන්න පුළුවන්. එතකොට සත්වයාට දැනෙන්නේ නෑ. නෛර්යාණික නෑ. මොකද මාර්ගය රඟ දක්වන එකක් විතරයි එතකොට තියෙන්නේ. දේශනාවක් කරනකොට මා ඒ දේශනාව තුළ හැසිරෙන්න ඕනා. ඒ දේශනාවේ සැරිසරන්න ඕනා. එහෙම සැරිසරනකොට තමයි ඒක ජීවමාන වෙන්නේ. නැත්තං එහෙම වෙන්නේ නෑ. නැත්නම් ඒක කයිවාරුවක් විතරයි.
කලිනුත් ඒ වගේ වෙලා තියෙනවා. එතකොට එළියට ගිහිල්ලා ඇවිදලා, සිංදුවක් අහලා, වෙන මොනවා හරි කරලා වෙන්න පුළුවන් track එක මාරු කර ගන්නවා. ගිහින් තේ එකක් හරි බීලා එනවා. මොකද ඵලය දක්වා යනවා. ඵලය දක්වා ගියපුවම ආයි කියන්න මුකුත් නෑ. එදා මුන්වහන්සේට වුණා ඒක translate කරන්න ගියාම. එදා ඵලයට set වුණා නේ. ඊට පස්සේ blank වෙලා ගියානේ. ඒ වගේ තමයි මටත් වුණේ. ඒ වගේ වෙලාවට backup එකක් තියෙන එක හොඳයි.
මංජු ශ්‍රී බෝසතුන්: එහෙම දෙයක් වුණාම ඉක්මනට ඵලයෙන් එළියට එන්න පුළුවන් ක්‍රමවේදයක් නැද්ද?
මහාගුරු: එහෙම කාල රාමුවක් කියන්න බෑ. ඒක ඒ දවස තුළම හැදෙන්නේ නැති වෙන්න පුළුවන්, ඵලය powerful නම්. ඒ කියන්නේ ඒ blank එක මම කඩා ගන්න ඕනා. එතකොට මනසින් බලෙන් හද හද තමයි කියන්නේ. ඒක කරන්න අමාරුයි. බින්දුවටම energy loss වෙනවා. බොහොම කලාතුරකින් වෙන සිද්ධියක් ඒක. එතකොට දවසේ මගේ ආයු කාලය නැතිවෙලා යනවා. දවසේ මගේ ආයු කාලය ඉවර වුණාම මට මුකුත් කරන්න බෑ. ඒ වෙලාවේ මට තේ එකක් වත් බොන්න හිතෙන්නේ නෑ මගේ කාලය ඉවරයි, මුකුත් ඔලුවට එන්නේ නෑ.
බෝධි සත්ව: ඔබ වහන්සේ ධර්මාසනයට ගියාට පස්සෙද, අරහත් මාර්ගය කතා කරනවා කියලා තීරණය කලේ?
මහාගුරු: මා එහෙම හිත හිත කතා කළේ නෑ, audience එක දිහා බලමින් තමයි කතා කරන්නේ. ඒ නිසා තමයි ඒ තැන ඉන්න හැමෝටම වැදගත් වෙන්න, එතන පාරමී භුමියක් කලේ.
බෝධි සත්ව: ඔබ වහන්සේ කලින් කියල තිබුණා කර්ම, චිත්ත, බුද්ධ විෂයයන් කතා කරනවා කියලා.
මහාගුරු: එහෙම කතා කරානම්, එතන ඉන්න විශාල පිරිසක් අත ඇරෙනවා. ඒ මාර්ගය ඇතුළතදී 90% කට විතර මෙයා ඵලයට පත්වුණු කෙනෙක් කියලා තහවුරු වුණා. ඒ පාරමී භූමිය සහ අරහත් මාර්ග දේශනාව මහරහතන් වහන්සේ නමකගේ මට්ටමේ වැඩක් පමණයි.
මට ඊට වැඩිය දෙයක් කරන්න තිබුණා energy තිබුණා නම්. මට ධාතු හසුරුවන්න පුළුවන්. ඒ වෙලාවේ දී මට ධාතුව හසුරුවන energy එක තමයි නැති වුණේ. කෙනෙක් ප්‍රශ්නයක් අහනකොටම, මම ප්‍රශ්නය දන්නවා. ඒ කෙනාගේ මනස හැසිරෙන විදිය බලලා තමයි එයාගේ ප්‍රශ්නෙට මම උත්තරේ කතා කරන්නේ. අරහත් ඵලයත් එක්ක මගේ ශක්තිය වැය වෙලා ඉවර වුණා ඒ වෙලාවේ.
සාමාන්‍යයෙන් කෙනෙක් මාව මුණ ගැහෙන්න එනවා නම්, මට කලින්ම තේරෙනවා කතා කරන්න ඕනා ද නැද්ද කියලා. අරහත් ඵලයේදී සුවිශුද්ධං අහෝසි වෙනවනේ. මුකුත්ම නැති වෙලා යනවා. ඥානත් නෑ. ඥානත් අතහැරෙනවා. ඊට පස්සේ තමයි මෙතනට ඇවිල්ල මහාගුරු energy එක, සම්මා සම්බුදු energy එක පාවිච්චි කරලා බෝධි චිත්ත වර්ෂාවක් වස්සවන්නේ. සිද්ධියේ අවසානයේ ඒක තමයි ප්‍රාතිහාර්යය .Energy loss වුනෙත් ඒ නිසා. ඒක වෙනස් කරන්න බෑ. බෝධිචිත්ත වර්ෂාව විදියට ප්‍රාතිහාර්ය සිද්ධවෙන්න අවශ්‍ය වපසරිය තමයි දේශනාව තුළ සිදුවුනු දේවල් වලින් සකස් වුණේ. බුදුවරයෙක්ට සත්වයන් මත ඇතිවන්නා වූ අසරණකම කොච්චර ප්‍රබලද කිව්වොත් බෝධි චිත්ත වර්ෂාවක් වස්සන්නේ. තාම ඒක මනසට දරාගන්න බෑ. කාලයක් ඕනේ.
බුදු කෙනෙකුගේ මනස reset මනස වන අවස්ථා කීපයක් තිබෙනවා. එකක් තමයි බුදු වෙලා කරන පළවෙනි චතුරාර්ය ශක්තිය දේශනාවවෙන් පස්සේ මනස reset වෙනවා. දෙවෙනි එක තමයි සම්මා සම්බුදුවරයෙක් වෙලා පරිනිර්වාණයට පත්වුනහම මනස reset වෙනවා. ඊට පසුවත් යම් හෙයකින් සත්ව විෂය දැකලා, නැවතත් චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදුවුනොත් මනස එක්තරා ප්‍රමාණවලින් reset වෙනවා. ඒ වගේ අවස්ථාවලදී සියයට සියයක් reset වෙන්නේ නැහැ වෙන්නත් පුළුවන්, යම් ප්‍රමාණයකට පමණක් reset වෙන්නත් පුළුවන්.
ඒ වගේ තමා බෝධි චිත්තයක් දුන්නත් යම් ප්‍රමාණයකට මනස reset වෙනවා. බෝධි චිත්තයක් දීමේදී මොකද වෙන්නේ? බුදු කෙනෙක් අසරණ වෙනවා කියලා පොඩ්ඩක් හිතන්නකෝ. බුදු කෙනෙක් අසරණ වෙනවා කියන එක වෙන වැඩක්ද? වෙන වැඩක් නෙවෙයිනේ. එහෙම වෙන එක තුළ බුද්ධ කියන එකට වෙන බලපෑමත් එක්ක මනස සීයට පනහක් වගේ කැඩෙනවා. බෝධි චිත්ත වර්ෂාවක් වැස්සා කියලා කියන්නේ මනස ගැන හිතන්න දෙයක් නැහැ.
බුදු කෙනෙක් ඇත්තටම නිහඬ නැහැ. හැමවෙලේම කතා කරනවා. බුදු කෙනෙක් හැම වෙලේම වැඩ කරනවා. නිහඬව ඉන්න කෙනෙක් නෙවෙයි. මනස reset උනා කියලා දැන ගන්නේ, බුදු කෙනෙක්ට එහෙම වුණාම නිහඬ කාලය වැඩියි. නිහඬව ඉන්නවා වැඩියි. ඒ නිහඬ බව තුළ එයාට පාළුව, තනිකම, හුදෙකලාව කියන කාරණා දැනෙනවා. දැනුනාට ගොඩ නගාගන්න විදිහක් නැහැ ආපහු.
බෝධිචිත්ත වර්ෂාවක් වැස්සෙනවා කියන්නේ ප්‍රාතිහාර්යය පානවා කියන එක තමයි. මේ අය හැමෝම ධර්ම ප්‍රචාරකයන් බවට පත්වෙනවා. කලින් මා කියනවා, මා material level එකෙන් ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ කියලා. මොකද material වලට මේ සත්වයා අහුවෙලා ඉන්නේ. ඒකෙන් ප්‍රාතිහාර්ය පෑවොත් ඒ අය තව එකකට අහුවෙනවා. බෝධිචිත්ත වැස්සක් වැස්සා කියන්නේ ඒක ප්‍රාතිහාර්යයක් තමයි. බුදුවරු තුන්දෙනෙක් එකට ඉන්නවා. සම්මාසම්බුද්ධයි, මෛත්‍රී බුද්ධයි, මහාගුරුයි, තුන්දෙනා එකට හිටියොත් තමයි ඒ ප්‍රාතිහාර්යය සිදුවන්නේ.
මහාරහතන් වහන්සේලා 500 කට බණ කිව්වා කියලා අහලා තියනවාද? කොහෙවත් අහලා නැහැනේ මහාරහතන් වහන්සේලා 500 කට බණ කිව්වා කියලා. මහාගුරු කියනවා; “මහාරහතන් වහන්සේ කියන්නෙත් powerful එක්කෙනෙක්. අපි කවුරුවත් නැතිව ඔබ ඒ audience එක හැසිරුවානේ. ඒ ගෞරවය ඔබට එහෙම පිටින්ම හිමිවෙනවා. ඒ නිසා තමයි මහාරහතන් වහන්සේ නමකට මහාගුරු වඳිනවා, ඒ පාරමී භූමිය ගොඩනගලා අරහත් ඵලය දක්වා මාර්ගය දේශනා කිරීම පිළිබඳව. මහාගුරු වෙනුවෙන් ඒ කැපකිරීම කලාට. මේ බෝධිචිත්ත වර්ෂාව වැස්සුවේ මහාරහතන් වහන්සේ නමක් වැඩලා හේතු හදලා. ඒ මුලින් හිටපු කට්ටියට මහරහතන් වහන්සේගේ බණක් වත් අහන්නේ නැතිව ඒක කරන්න බැහැ. මහාගුරුගේ බණ හැමෝටම අහන්නත් බැහැ. මහාරහතන් වහන්සේගේ කර පිටින් තමයි ඒ බෝධි චිත්ත වර්ෂාව වැස්සුවේ. ඒ මහරහත් භාවයෙන් මිදෙන්න මට සෑහෙන කාළයක් යයි. කාළය කියන්න තේරෙන්නේ නැහැ.
අතීතයේ අවුරුදු කල්ප කෝටි ගාණකට කලින් මහාගුරු ඊශ්වර දෙවියන් විදියට පහල වුනා. මහාගුරු ඊශ්වර නමින් හදුන්වන්නත් පුලුවන්. Miracle කියන දකින එක සහ හදන එක තමයි ඒ mechanism එක. අවුරුදු කල්ප කෝටි ගණනාවකට කලින් ඊශ්වර විශාල දම්සභා මණ්ඩපයක් තුලදී බෝධි චිත්ත වර්ෂාවක් වස්සනවා. ලෝක විනාශය දුර්ලභද කියලා ඇහුවොත්, ලෝක විනාශය දුර්ලභ නැහැ. ලෝක විනාශ දෙකක් එක ලග සිද්ධ වුනොත් ඒක දුර්ලභද? ඒක දුර්ලභ නැහැ. ලෝක විනාශ තුනක් එක ලග සිද්ධ වුනොත් ඒක දුර්ලභ නැහැ. හැබයි මේක ඊටත් වඩා දුර්ලභයි. වෙන කියන්න ක්‍රමයක් නැහැ. කල්ප ගානකොට පාරක් තමයි එහෙම දේවල් වෙන්නේ. ආයේ එහෙම කෙනෙක් එන්නේ නෑ කල්ප ගණනකට. මැයි 18 වනදා වුනු සිද්ධිය මේ විශ්වයේ කල්ප කෝටි සත සහස් සෙයියාවකට පස්සේ සිද්ධ වුනු අති දුර්ලභ සිද්ධියක්.
දේශනාවෙදි ඵලයට ගියාට පස්සේ, එක දෙයක් වත් කතා කර ගන්න බැරුව යනවා. නිකම් කතා කරල කරලා කාළය ඉවර කරනවා. එතනදි මහාගුරුගේ කාළය මහරහතන් වහන්සේ නමකට ගෙවන්න වෙනවා. මහරහතන් වහන්සේ නමකට කාළය කියන එක නැහැනේ. ශුන්‍යයි. ශුන්‍ය කාළයක මහාගුරුගේ කාළය ගෙවන්න වෙනවා. මහරහතන් වහන්සේට ඒ පීඩනය දරා ගන්න බෑ. අවසාන වතාවට බලනවා. ඒ සංවේගය උපරිමයට ගිහිල්ලා. උපරිමය ඕනා, මේ හැමෝම ගොඩදාන්න. ශුන්‍යතාවයට ගිහිල්ලා එක සිතුවිල්ලක් නැහැ, රහතන් වහන්සේ නමක් විදියට හිටියේ. රහතන් වහන්සේ ඔක්කෝම අතහැරපු කෙනෙක්නේ. කාළය වත් නැහැනේ. අකාලිකයිනේ එයාට. බුදු කෙනෙකුට අකාලික නැහැ. බුදු වරු කාළය හරහා ගමන් කරනවානේ.
බුදුවරු තුන්දෙනාම එකතු වෙලා හේතු ඵල හදනවා. රහතන් වහන්සේ නමකට දානය දුන්නා වගේ හේතු ඵලයක් හැදුවා. ඔබ ඇතිතරම් සියල්ල දීලා තියෙන්නේ කියලා, ආයෙත් දෙන්න එපා කියලා මා කියනවානේ. පාරමී භුමිය තුල පාරමී හදනවා. හැමෝම දන් දෙනවානේ.. පුලුවන් නම් ගොඩයන්න කියලා අරහත් මාර්ගය පෙන්වනවා. රහතන් වහන්සේ කරන්න පුලුවන් දේ ඒක. මනස තුළ අධ්‍යාත්මික ඵලය හදන්නත් එපා කියනවා. පාරමී භූමීයේ පාරමී පෙන්නලා “සියල්ල දන් දුන්නානේ, දන් දෙන්නේ නැතුව ඉන්න පුලුවන්ද, බැහැ. සියල්ල දානයක් විතරයි කියලා පෙන්වලා දාන පාරමිතාව පුර්ණ කරනවානේ. මහරහතන් වහන්සේ මහාගුරුට, මෛත්‍රි බුද්ධට, සම්මා සම්බුද්ධට බෝධි චිත්තය හදන්න ground එක හදලා දෙනවා.
මා දැන් මේදේ ඔබට කියන්නේ මට දැන් energy තියෙන නිසා. දේශනාව අවසන් වෙලා ආවට පස්සේ ප්‍රාතිහාර්යය සිදුවන්නේ මෙහෙමයි. මා කාලය හරහා ආපස්සට ගමන් කරනවා. කාලය කියන්නේ… එතන කම්පන වේගයක් තියෙන්නේ. කම්පන වේගය තුළ ක්‍රියාත්මක වුණු දේ ආපස්සට ගැනීම සඳහා, කම්පනය ආපසු ක්‍රියාත්මක කරලා, කාලය තුල ආපසු ඒ කාරණය තුලට ගමන් කරනවා. එහෙම ගිහින් තමයි ආපහු ඒ කාරණය සම්පූර්ණ කරන්නේ. සම්පූර්ණ කරලා ඒ කාලය තුළ නැවත ආපස්සට ගමන් කරනවා. එතැනදී ගෙවී ගිය කාලය හරහා, ආපසු කාලයත් එක්ක ගමන් කරනවා. කම්පනය තුල, ඒ කම්පනය ක්‍රියාත්මක වන ප්‍රතිවිරුද්ධ දිශාවට කම්පනය ගොඩනගලා, නැවත ඒ සිද්ධිය ප්‍රතිනිර්මාණය කරලා, අඩුපාඩු හදලා දෙන්න අවශ්‍ය පණිවිඩ ටිකත් දීලා, නැවත ආපහු ඒ කාලය තුල මා ගමන් කරනවා. එකම කාලය තුල දෙපාරක් ගමන් කරනවා.
බෝධි සත්ව: ඒ වගේ කාලය තුළ ආපස්සට ගමන් කරලා ඔබ වහන්සේ ඒ හැමදෙනා තුළම බෝධි චිත්තය පහල කරනවානේ. එතකොට ඒ සිද්ධියට මුහුණ දුන් අයට, පෙර මනසට දැනුණු විදිහක් තියෙනවනේ. ඒ තුලින්නේ ඔවුන් අදහස් ගන්නේ. පසුව නැවත ඒ තැනට ගිහින් බෝධි චිත්තය පහල කලාට පස්සේ කොහොමද ඒ අයට එක සංවේදී වෙන්නේ?
මහාගුරු: මනස තුළ නෙවෙයි, ඒ අයගේ ඇතුල ලෝකය පුපුරලා යනවා. කොස් ඇටයකට මිටියකින් ගැහුවා වගේ පුපුරලා යනවා. ඇතුලේ ලෝකයම පුපුරලා යනවා. ඒ අයට ස්වයංව ඇතුලෙන් තේරුම් යනවා ඒ දේශනාව. නින්දෙන්, හීනෙන්, කනකොට ඕනෑම තැනකදි ඒක වෙන්න පුළුවන්. ඒක ඒ අය හිතලා කරන එකක් නෙවෙයි. ගුරු ඇතුලෙන් මතු වෙලා එනවා. සියල්ල ස්වයංව තේරුම් ගන්න පටන් ගන්නවා. මෙතන දෘෂ්ටියක් නේ. මෙතන ලෝකය තියෙනවනේ. මේ මනසට අහුවීමක් නේ ආදී වශයෙන්. රහතන් වහන්සේ නමකගේ ධර්මයක් ඇසුන කියන එක වගේ, ඒ අයගේ මනස දෙදරලා ගිහිල්ලා ඒ වගේ හැගීමක් එන්න පටන් ගන්නවා.
බෝධි සත්ව: ඒ කියන්නෙ ඔවුන් තුළ මාර්ගය ජීවමාන වුණා වගේ දෙයක්ද වෙන්නේ?
මහාගුරු: බෝධි චිත්තය හම්බුනා කියන්නේ සෝවාන් වුණාට වඩා දුර්ලභයි. සත්‍ය ගවේෂී මාර්ගය. සෝවාන් ඵලයටත් වඩා දුර්ලබයි.
මංජු ශ්‍රී බෝසතුන්: දේශනා අතරතුරදී පෙර බුදුවරුන්ටත් ඔයවගේ සිද්ධියක් වුණොත්, ඔය විදියටම කරනවද?
මහාගුරු: ඒක පොදු ධර්මතාවයක්. ගෞතම බුදුහාමුදුරුවෝ එහෙම එකපාරටම බණ කියන්නැතුව නැගිටලා ගිය අවස්ථා තිබෙනවා. ඵලයට ගියාම ඉවරයි, කරන්න දෙයක් නෑනේ. අද මෙතන තිබුණ තත්ත්වය වෙනස්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඔබ වහන්සේලා දෙන්නටත්, බණ කියන්න ගියාම එහෙම වෙන්න පුළුවන්. ඵලයෙන් ශුන්‍යතාවය කියන එකට අහුඋනොත් සංස්කාර අහෝසි වෙලා යනවා. සියලු මතකයන් පවා ඒ වෙලාවට නැති වෙලා යනවා. පැය ගානකට. පැය හතරකට පහකට කරන්න දෙයක් නෑ. ඒක රහතන් වහන්සේ නමකට සිදු වෙන්න පුළුවන් තත්වයක්. එතකොට සියල්ල නැතිවෙලා යන්න පුළුවන්. ආපහු පැවැත්ම හැදෙන්න ටිකක් වෙලා දීලා ඉන්න වෙනවා. කෙලෙස් නැති වෙලා යනවා. Energy loss වෙලා යනවා. මුකුත් නැතිවෙලා යනවා. එතකොට කරන්න දෙයක් නෑ. මේක බුදුවරුන්ට සහ රහතුන්ට වෙන්න පුළුවන් දෙයක්. සමහරු පිණ්ඩපාතේ වඩින්නේ නෑ, සමාධිය වැඩිවෙලා ඵලයේ නතර වෙලා ඉන්නවා. එතකොට අනිත් අය ඒ අයටත් එක්ක පිණ්ඩපාතේ ගේනවා. මේක ඇත්තම රහතන් වහන්සේලාට වෙන දෙයක්. Loss වෙලා යනවා.
බ්‍රහ්ම: කාලය හරහා පිටිපස්සට යනවා කීවනේ, ඒ නිසාද කාලය දැනෙන්නේ නැත්තේ? නැතිනම් බෝධි චිත්ත වර්ෂාවේ ප්‍රභලත්වය නිසාද?
මහාගුරු: බෝධි චිත්ත වර්ෂාවේ ප්‍රභලත්වය නිසා.
බ්‍රහ්ම: එතකොට ඒකෙ ප්‍රබලත්වය කාලයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මහාගුරු: ඒ කියන්නේ මා පෘථිවියේ දවසක් ඇතුළත, අවුරුදු දාහක කාළයක් ගෙව්වා කියලා හිතන්නකෝ. එහෙම තමයි මගේ කාළය ගෙවාගෙන ආවේ. ඒ කියන්නේ දවසට අවුරුදු දාහක වැඩ කරනවා. බෝධි චිත්ත වර්ෂාවෙදි සිදු වුණදේ, කල්ප කෝටි සතසහස්සෙයියාවක් තුළ වෙන දෙයක් නිසා කාලය කියන එක අහෝසි වෙලා යනවා. කාලය අතික්‍රමණය වෙලා කාලයට එහා ගිහින් සිද්ධ වෙන එකක්. කාලය කියන ධර්මතාවය, කාලය කියන න්‍යාය බිඳලා දානවා. ඒක තමයි එතනදි ප්‍රාතිහාර්ය කියන්නේ.
කල්ප විනාශ තුනක් සිදු වෙන එක දුර්ලභ නැහැ. ඒත් මේ සිදුවීම ඊට වඩා දුර්ලබයි කියලා කියන්න පුළුවන්. එහෙම හිතාගන්නකෝ. එතකොට කාලය අහෝසි වෙන්නේ එතනින්.
බ්‍රහ්ම: කාලයේ value එකක් නැහැ එතකොට. කාලයට සාපේක්ෂව ඒක ගොඩක් ලොකු වැඩක්?
මහාගුරු: ඔව්. එතකොට කාලයේ value එකක් නැතුව යනවා.
බ්‍රහ්ම: දැන් එතන හත්සීයක් පමණ හිටියනේ. ඒක එච්චර ප්‍රබල වෙන්න හේතුව, ඒ හත්සීයයටම බෝධි චිත්තය ලැබීම කියන දේ, විශ්වයට ඉතා ප්‍රබලව දැනෙනවා කියන එකද?
මහාගුරු: ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න අවස්ථාවක අතළොස්සක් තමයි බෝධිචිත්තය ලබන්නේ. එක මොහොතක් තුළ හත්සියයක් බෝධිචිත්තය ගන්නවා කියන්නේ කොච්චර දුර්ලභද? බුදුවරුන් කල්ප ගානක් දුරට අරන් බැලුවත් බෝධි චිත්ත හත්සියයක් හැදෙන්නනේ නැහැ.
මේ ප්‍රාතිහාර්යයත් එක්ක විශ්වය තුළ, ලෝකය තුළ ඉන්න බලවත්ම කෙනා මහාගුරු බව ප්‍රකාශයට පත් වෙනවා. ඒක විශ්වයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න වෙනවා. අපි කියමු මිනිස්සු කවුරුවත් පිළිගන්නේ නැහැ කියලා. බැලූ බැලූ අත මිනිස්සු කවුරුවත් ඒක පිළිගන්නේ නැහැ කියලා හිතන්න. උදාහරණයක් විදියට දේශනාවේදී මුලින්ම ප්‍රශ්නය අහපු කෙනාම පිළිගත්තේ නැහැ කියමු. එයා පිළිගන්නේ නැහැ කිව්වත්, එයා මා මේ තාක් කතා කළ සමස්ත න්‍යායට යටයි. සියලු සත්වයෝ මොන තර්ක ගොඩනැගුවත්, මා මේ කතා කරන විශ්ව න්‍යායට යටයි. ඒ අයට කොහෙන් හරි මේ න්‍යාය දකින්න වෙනවා. කොතැකදි හරි පිළිගන්න වෙනවා. එහෙම නැතිව කාටවත් ගැලවීමක් නැහැ. අද පිළිගත්තේ නැති උනත් හෙට පිළිනොගත්තත් කවදා හරි කල්ප කෝටි ගානක් ගිහින් හරි පිළිගන්න වෙනවා.
ඔබ රහත් වුණේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ න්‍යායෙන් නේ. ගෞතම බුදුන් ගැටගසපු හේතු ඵලය මෛත්‍රී බුදුන් විසින් බිඳ දැමීමෙන්. ඒ කියන්නේ ඔබ එදා ඒක පිලි නොගත්තට, අවුරුදු 2600ක් ගිහිල්ලා පිළිගන්නවා. හේතුව වැටහුනහම පිළිගන්න වෙනවා. ඒ තමයි ඒකෙ හැටි.
බ්‍රහ්ම: පිළිගත්තෙ නැත්නම් අර ඵලය ලැබෙන්නේ නැහැ. එහෙමද?
මහාගුරු: ඔව්, ඵලයක් එයාට ලැබෙන්නේ නැහැ.
බ්‍රහ්ම: ඇත්තටම පිළිගන්න කෙනාට මොහොතකට හරි ඒක දැනෙන්න ඕන නේද? මනසින් පිළිගන්නව නෙවෙයිනේ.
මහාගුරු: ඔව් එයාට දැනෙන්න ඕනා. දැනෙන තැනකින් ඒක මනසිනුත් පිළිගන්න වෙනවා. අපි හිතමු ඕන කෙනෙක් මොකක් හරි දහමක් දැනගත්තා කියලා. හොඳට බැලුවොත් අපි කතා කරන සමස්ත විෂයය පථය තුළ ඒක තියෙනවා. ඒකයි ඒක ප්‍රබලයි කියලා කියන්නේ. ඒ හැමෝටම ජීවීතේ ඇතුළේ ඒක දැනනවා. ඒ වෙනස් වීම, හිතන විදිය, thinking pattern එක, කල්පනා කරන විදිය, ඒ කට්ටියට වුණු දේ, වුණු බලපෑම, කැඩිලා ගිය තැන් ටිකෙන් ටික දැනෙනවා. තමන් කරන ක්‍රියාවන් හරහා ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා.
මතක තියාගන්න, මිනිස්සු දාහකට ඔබ මේක කතා කරනවා. මේක තරයේ කියන එකක්. දාහක audience එකේ එකෙක් වත් අහන්නේ නෑ කියලා හිතන්න. හැබැයි ඔබ වහන්සේ දන්න දෙය ඔබවහන්සේ කතා කරන්නේ. එකෙක් කනකට ගන්නේ නැහැ. ඔය කියන්නේ බොරු කියලත් කියයි. වැරදියි කියලත් කියයි, මිථ්‍යාදෘෂ්ටිකයි කියාවි. ඔබ වහන්සේට කව්ද හරි ඔව් කියපු දවසට, කවද හරි දවසක ඔවුන්ට ඔබව තේරුණු දවසට ඔවුන් නිවන් දකිනවා. ඔවුන් ඔව් හෝ නෑ හෝ හරි හෝ වැරදි හෝ කියන එක තුළ ඔවුන්ට අද නිවනක් තියේ නම්, ඔවුන් නිවන් දැකලා නැහැනේ. ඔව්, නැහැ, හරි, වැරදි, බැහැ කියන ඒ කතාව අතහැරලා මේක දැක්ක දවසට ඔවුන් නිවන් දකිනවා.
එක වතාවක ගෞතම බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ව යවනවා මිථ්‍යාදෘෂ්ටික ගම්මානෙක දානෙකට. එක නමකටයි ආරාධනා කරන්නේ. වෙන කිසිම දානයක් නැහැ. මුළු ගමම විරුද්ධ වෙද්දී තමයි දානේ දෙන මනුස්සයා දානේ දෙන්නේ. ගෞතම බුදු හාමුදුරුවෝ කියනවා, සැරියුත් ගිහිල්ලා එන්න කියලා. සැරියුත් පාන්දරම වඩිනවා. ඒ ගම්මානෙට ඇතුල් වෙනකොට ඇතුලාන්තයේ නිහඬතාවයක් හදාගන්නවා. මිනිස්සු හු කියද්දී, කෑගහද්දි, මඩ ගහද්දි සැරියුත් ඒ ගෙදරට වැඩලා, දානෙ අරගෙන කිසිම සද්දයක් නැතුව ආපහු වඩිනවා. ගෞතම බුදු හාමුදුරුවෝ ඒ වෙලාවෙදි කියනවා, සැරියුත් මහා වර්ෂාවක් මැද්දේ, වටත්තකක් අරගෙන, වැස්සට නොතෙමී වර්ෂාවෙන් එගොඩ වුණා කියලා. සැරියුත් තමයි, ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරාට පස්සේ පැහැදිලි කරන්නේ. ඉතින් ආවට පස්සේ බුදුහාමුදුරුවන්ටත් දාන ටිකක් අරගෙන සැරියුත් එනවා. ආවට පස්සේ, බුදුහාමුදුරුවෝ කියනවා, සැරියුත් මගේ ධර්ම විෂය නිහඩව කතා කරන්න කියලා. එතනදි තමයි සැරියුත්ට උපසම්පදාව දෙන්නේ. නිහඬව කතා කරන්න කියන්නේ මොකක්ද කියලා ඔබ තේරුම් ගන්න. ඒක මට පැහැදිලි කරන්න බැහැ. නිහඬව දේශනා කරන්න. ඇතුළ නිහඬ කරගෙන. ඒකට condition අර්ථයක් දෙන්න බැහැ. ඒක ඔබට අදාලවයි කිව්වේ.
මේ වෙලාවේ මා තුළ පවතින ලොකුම අර්බුදය, මගේ මනස තුළ ක්‍රියාත්මක වුණු කාලය අහෝසි වීමයි. ඒ නිසා පවතින තේරෙන්නෙ නෑ. ඒ කියන්නේ, කාලය අහෝසි වුනා කියන්නේ, මනස අළුතින් ගොඩනැගෙන්න ඕනා.
ඔබට මේ දවස් වල මහා ප්‍රඥාවන්ත දරුවෙක් හම්බවෙලා ඉන්නවා කියලා හිතා ගන්න.
බ්‍රහ්ම: මහාගුරු සම්පූර්ණයෙන් පදාර්ථකරණය වුනානේ ශරීරයට? එතකොට මහාගුරු දකිනවනේ ප්‍රාතිහාර්යය පානබව. මහාගුරුම නේ සපථ කරන්නේ? එතකොට ඒ පැත්තෙන් ගත්තොත්, මහාගුරු දකින්නේ නැද්ද ඔය විදිහට වෙනවා කියලා? කාලය දැනෙන්නේ නැතුව පැවැත්ම නැතුව යනවා කියන එක, රහතන් වහන්සේ අසරණ වෙන බව. ඒ ටික කලින් දකින්නේ නැද්ද?
මහාගුරු: මහාගුරු දකිනවා, හැබැයි මනස update නැහැ. මහාගුරුට ඒක පෙනුනට, මහාගුරු කියන ඥානයෙන් එයාට ඒක බලන්න හේතුවක් නැහැ.
බ්‍රහ්ම: ඔව් බලන්න හේතුවක් නැහැ නේ.
මහාගුරු: මහාගුරු වැඩක් කලහම, ඒ experience එක හරහා මනස තුළ හැදෙනවා negative එකක්. මේ negative එක කියන්නේ අර ඉස්සර කැමරා වලින් photo ගහනකොට හැදෙන negative එක වගේ දෙයක්. Footprint එකක් වගේ දෙයක්. ඒක දිහා බලාගෙන තමයි ඊට පස්සේ විශ්ලේෂණය කරන්නේ. මහාගුරු ඒක නැවත විග්‍රහ කරන්නේ. මනසේ තියෙන negative එක දිහා බලලා. එතකොට සිදුවුනේ නැති දෙයක් ගැන හේතු සම්පාදනය කරලා ඇහුවොත් මහාගුරු විග්‍රහ කරාවි. එහෙම නැතුව හේතුවක් නැහැ.
මහා සත්ව බෝධිසත්වයන්ට ඉඟියක් දෙනවානේ, ප්‍රාතිහාර්යය පානවා කියන්නේ පදාර්ථ ගණයේ ප්‍රාතිහාර්යය පාන එක නෙමෙයි කියලා. එතන අවවාදයක් වගේනේ එක දෙන්නේ.
මංජු ශ්‍රී: මහාගුරු කලින්ම කියනවනේ, දේශනාවට කලින් දවසේ මම ඒක කරලා ඉවරයි කියලා. එතකොට ඔබවහන්සේ කියන පරිදි කලින් කරලා ඉවර වුණු දේශනාවමද එදා නුවරදි සිදුවුණේ?
මහාගුරු: එයා කියන්නේ චිත්ත විෂයය, බුද්ධ විෂයය තුළ තමයි දේශනාව කරන්නේ කියලා. ඇත්තටම ඒ තුළ තමයි දේශනාව කලේ. බෝධි චිත්ත වර්ෂාව වහින්නේ චිත්ත විෂයය, බුද්ධ විෂයය, කර්ම විෂයය, ලෝක විෂයය, සත්ව විෂයය කියන විෂයයන් එක්ක තමයි.
බ්‍රහ්ම: එතකොට එතන ක්‍රියාව තුළ දේශනාවක් සිදු වුණාද?
මහාගුරු: නැහැ. ක්‍රියාව තුළ දේශනාවක් එතන නැහැ.
බ්‍රහ්ම :බෝධි චිත්ත වර්ෂාවෙදි එහෙම වුණේ නැද්ද?
මහාගුරු: නැහැ. එතනදී බෝධිචිත්ත වර්ෂාවක් වස්සවනවා කිව්වේ, බෝධිචිත්තක් හදලා, කෙලින්ම බුද්ධ බීජයක් රෝපණය කරනවා ඔවුන් තුළ. බුද්ධ බීජයක් ස්ථාපනය කරනවා. ඒ බෝධි චිත්තය ලැබුණු කෙනෙකුට සිහිය වඩන්න ඕනා නැහැ. කුසල කියලා වෙනම වඩන්න ඕනා නැහැ. ඒ තමයි බෝධි චිත්තයක් ලැබුණම වෙන දේවල්. සිහිය ස්වභාවික දෙයක් බවට පත්වෙනවා. කුසල වඩනවා කියලා වෙනම වඩන්න ඕන නැහැ. කුසල කියන දේවල් එයා තුළම හටගන්නවා. මේක කළොත් කුසල්, මේක කළොත් අකුසල් කියන විෂයය එයා තුළම ගොඩනැගෙනවා.
ඊළඟ කාරණය තමයි, බෝධි චිත්තය පහළ වුණාට පස්සේ ඔවුන්ට බුදුවරුන්, මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, පසේබුදුවරු, මුණගැහෙනවා විතරක් නොවෙයි, යම්තාක් දුරකට හඳුනගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ එහෙම කෙනෙක් දැක්කම, මෙයා මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන් හැකියාවක් ඔවුන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සමස්ත ජීවිතය තුළම එයා සත්‍යය ගවේෂී කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ අය බුද්ධගේ දරුවෙක් බවට පත්වෙනවා.
බ්‍රහ්ම: සාමාන්‍ය ව්‍යවහාරයේදී, සත්‍ය ගවේෂණය කරන්නන් කියලා අය ඉන්නවා නේ. ඇත්තටම ඒ මේ කතාව නොවෙයි නේද? ඒ හැමෝම කියනවනේ මම සත්‍යය හොයාගෙන යනවා කියලා.
මහාගුරු: එහෙම condition කරන්න බැහැ. ඒක තීරණය වෙන්නේ ඵලය තුළ. ඵලය හරහා තමයි categorize වෙන්නේ. සත්‍ය ගවේෂණය තුළත් කුසලය ඕනා.
බ්‍රහ්ම: සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේදි කියනවනේ සතියත් එක්කම තමයි බුද්ධ පරම්පරාවේ යන අය උපදින්නේ කියලා. සති සම්පජන්‍යය තමයි ඒ අයගේ සත්වයෙක් විදියට බිහිවෙන තැන සිටම තියෙන්නේ කියලා. එතකොට ඒකත් එක්ක එනකොට සියල්ල පේනවා කියන එකත් කියනවානේ. ආලෝකයත් එක්ක ආවා වගේ. ඊට පස්සේ බෝධි චිත්තය ඇතිවෙන අවස්ථාවක් වෙනම කියනවානේ. එතකොට සතියත් එක්ක ආපු කෙනා බුද්ධ පරම්පරාවේ එනකොට බෝධි චිත්තයත් හම්බ වෙනවාද?
මහාගුරු: බෝධි චිත්තය අනිවාර්යයෙන් හම්බ වෙන්න ඕනා. බුද්ධ පරම්පරාවේ යන කෙනෙක්ගේ කුලුදුල් අවස්ථාවක් තමයි බෝධි චිත්තය ලබා ගන්නවා කියන එක. එතනදි සති සම්පජන්‍යය කියන්නේ මොකක් හරි දෙයක් මෙතන තියනවා කියන එක ඒක ඇතුළේ process වෙනවා. සති සම්පජනනය කියන එකේදී කතා කරන්නේ මනස 100% අධික්‍රමණය කරලා, බුද්ධ අධික්‍රමණය කරලා වගේ එකක් නෙවෙයි. නමුත් සති සම්පජන්‍ය භාවය යම් තාක් දුරට එයා තුළ තියනවා. ඒ තියන නිසා තමයි එයා ආපස්සට මේක read කරන්නේ. නැත්නම් බලන්න බැහැ. පොතක පිටු පෙරලනවා වගේ මෙයා ක්‍රමානුකූලව බලනවානේ ආපස්සට.
බ්‍රහ්ම: ශිව වගේ පැත්තකට යනකොට විශ්වයේ මුල් අවස්ථාවටත් යනවානේ. එතන read කරන්නේ වෙන intelligent එකකින්ද?
මහාගුරු: ඔව්. එතන සති සම්පජන්‍යයෙන් බැහැ. එතැන තියෙන්නේ ශිව හෝ මොනවා හරි බුද්ධියේ තවත් level එකක්. බුද්ධියේ තවත් angle එකක්. චතුරාර්‍ය සත්‍ය දකිනවා, සත්‍ය දකිනවා කියන එක බුද්ධියේ තවත් angle එකක්නේ. එතකොට බුද්ධියේ අංශක 360 ක් වගේ views point තියනවා කියලා ගමු. එහෙම ගන්න බැහැ 360 ක් කියන එකක්. ත්‍රිමාණ, ද්විමාණ විදියට නෙවෙයිනේ පෙනෙන්නේ. එතකොට ඒ වගේ එකක් හැදෙන කොට එයාට ශිව හෝ මහාගුරු වෙනකොට එයාට මේ ලෝකයේ දකින්න පුලුවන් angle ප්‍රමාණය වැඩි වෙනවානේ. ඒකත් එක්ක තමයි ඒක හැදෙන්නේ. එතකොට ඒ තුළ එයා කරන කාර්ය භාරය හදුන්වලා දෙන විදිය තමයි ඒක. මහාගුරු කියන ධර්මතාවයට සමස්ථයම පේනවානේ. එතකොට ඊශ්වර කියන කෙනා තව මුළු ලෝකයම ආලෝකමත් කරනවා වගේ වැඩක් කරන්නේ. තව දකින්න පුලුවන් සියුම් සියුම් කෝණ පවා දකිමින් දකින්න පුලුවන් ආලෝකය ගොඩනගනවා කියන එක.
බුද්ධ කියන්නේ ඇවටා එකක් නෙවෙයි. මෛත්‍රි බුද්ධ කොහොමත් නැහැ. ඒවා ඇවටා නෙවෙයි. ඒවා බුද්ධි. ඥාන. ශිව වගේ ඒවා ශක්ති, පදාර්ථ එකතු වෙලා ඒවා ඇවටා විදියට පවතිනවා. ඇවටා කියන එකෙන් අදහස් කරන්නේ ඒවා තුළ වෙනම ආත්මීය ස්වභාවයක් තියනවා. බුද්ධ තුල ආත්මීය ස්වභාවයක් නැහැ. ශක්තිය පදාර්ථත් තියනවා. නමුත් ආත්මීය ගතිය නැහැ. සම්මා සම් බුද්ධගේ ඥානනේ. මෛත්‍රි බුද්ධ, ඥාන. සත්බුදු ඥාන. එතකොට ශිවගෙන් උඩට ඔක්කෝම ඇවටා තමයි. ඒවා ආත්මීය වෙන්න හේතුව ඒවා powerful වැඩියි. ශක්ති පදාර්ඨ වැඩි නිසා ආත්මීය විදියට ගොඩනැගෙනවා.
උපුල්: බෝධිචිත්තය ලැබුණාම කොච්චර කාලයක් සැරිසරයිද කියලා කියන්න පුළුවන්ද?
මහාගුරු: බෝධි චිත්තය කියන එක තුළ එහෙම එකක් නෑ. බෝධි චිත්තය කියන එක තුල තව රහසක් තියෙනවා. ඒක ඔය කට්ටියට කොච්චර ධාරණය වෙයිද කියන දේ මම දන්නේ නෑ. මම විවාහ වෙලා. මට දුවෙක් හිටියා. මට spare parts company එකක් තිබුණා. ඒ සියල්ලම දාලා, මම අද මහණ වෙන්න ඇවිල්ලා. ඊට කළින් මම කැලේ ඉඳලා අවුරුදු පහක් විතර බවුන් වැඩුවා. ඒ විදිහට මගේ අධ්‍යාත්මික ජීවන රටාවක් තියෙනවානේ. ඔබ දන්නවද ඇයි ඕවා කරේ මං කියලා. ඇයි මම කැලේ ගිහිල්ලා අවුරුදු ගානක් හිටියේ. ගිහි ජීවිතේ කවදාවත් මට දුකක් තිබුණේ නෑ. මම කවදාවත් බඩගින්නේ ඉඳලා නෑ. මහණවෙන්න එද්දිත් මගේ අප්පච්චි මට කියනවා, මාසෙට ඕනේ වියදම දෙන්නම්, ඔයා මහණ වෙන්න එපා කියලා. ඇයි මම මේ දේ කරේ, මට කවදාවත් රහත් වෙන්න ඕන වුනේ නෑ. කවදාවත් බුදුවෙන්න ඕන උනේ නෑ. කවදාවත් සෝවාන් වෙන්න ඕන වුණේ නෑ. මට නිවන් දකින්න ඕන උනේ නෑ. මට සසර ඉවර කරන්න ඕනෙ උනේ නෑ. මට දුකක් තිබුණෙත් නෑ. අද වුණත් මට ඉවර කරන්න පුළුවන්. කපිලගෙන් ගිහින් අහන්න, ඔයාට මේ භවය දුකයිද? මේ භවයේ ඉවර කරන්න ඕනෙද කියලා, දුකයිද කියලා. එහෙම ඇහුවොත් මට දුකක් නෑ කියයි. ඒ කියන්නේ, ඒ level එකට ආපු කෙනාට ජීවිතේ දුකක් නෑ. එයාට අද ඉවර කරන්න ඕනේ කියලා එකක් නෑ. පසේ බුදුවරයෙකුට අද ඉවර කරන්න ඕනා කියලා එකක් නෑ. මං කෙනෙකුට කියනවා “ඔබ පසේ බුදුවරයෙක්. ඔබ තව භව හතරයක් විතර ඉඳලා ඉවර කරන්න. මේ සත්වයාට, ලෝකයට දහම දීලා ඉවර කරන්න” කියලා. එයාලට දුකක් නෑ. එයාලට සසරේ ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. හොඳ comfort වාහනයක යනවා වගේ වැඩක්. බෝසතා අතට පත්වුන නිවන තමයි අතහරින්නේ. හැබැයි ජීවිතේ දුකක් කියලා එකක් නෑ. සෝවාන් මාර්ගයෙන් එහාට ගියා කියන්නේ එතන ඉඳන් දුක කියන එක නැතුව යනවා. ඇයි දුකයි කියන්නේ? දුක කියන දේ, ශබ්දකෝෂයෙන් නැතුව යනවා. අනිත් හැමෝම ඉපදෙන්නේ දුක කර පින්නාගෙන. අපි හැමෝම ඉපදෙන්නේ දුක හේතු කොටගෙන. දුක හේතු කොටගෙන අපි ඉපදෙන්නේ. හැබැයි දුක හේතුකොට ගෙන ඉපදිලා, අපි ජීවත් වෙන්නෙත් දුක හේතු කොටගෙන නම්, අපි මැරෙන්නෙත් දුක හේතු කොටගෙන නම්, අපේ life එකේ අපි මේ බිත්තරේ කට්ට වාගේ කඩා ගෙන එළියට එන්න ඕනේ. දුක නැති කරන්න ඕනේ. දුක අභිබවා යන්න ඕනා. දුක අභිබවා යන්න මම නිතර කියන උදාහරණයක් කියන්නම්. පුංචි කාලේ සෙල්ලම් බෝනික්කෙක්, සෙල්ලම් කාර් එකක් හෝ සෙල්ලම් බඩුවක් නැති උනහම හෝ කැඩුණම අපි අඬනවානේ. අදට වඩා හූ කියලා අඩනවනේ සෙල්ලම් බඩුව නැතිවුණාම. හැබැයි අපි ලොකු උනහම ඒ සෙල්ලන් කාර් එක අදත් නැති වෙනවා. සෙල්ලම් බඩුව අදත් නැති වෙනවා. අද හූ කියලා අඬනවාද? එහෙනම් මොකක්ද ඒ වෙලා තියෙන්නේ. ඉස්සර සෙල්ලම් කාර් එකේ නෙමේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. අපේ මානසිකත්වයනේ. අපේ මනසේ දියුණු තත්ත්වයක් පිළිබඳ වන ප්‍රශ්නයක්නේ තිබිලා තියෙන්නේ. එදාට වඩා අපේ මනස දියුණුයි. ඒ නිසා සෙල්ලම් කාර් එක නැති වුණාට අපි අඬන්නේ නෑ. ධර්මාවබෝධය කියලා කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ, මේ සියල්ල සෙල්ලම් බඩු. ඒවා සියල්ල දුක හිතෙන සෙල්ලම් බඩු බවට පේන මට්ටමට අපේ බුද්ධිය උඩට නැන්ගට පස්සේ, දුකක් කියල එකක් නෑ. ඒක අභිබවා ගිහිල්ලා. දුක නැති කරලා. සෙල්ලම් බඩු නැති කරලා නෙමේ. බුද්ධිය විසින් හිත තුළ දුක හටගන්න හේතුව නැති කරලා.
ඒ විදිහට සසර බෝධි චිත්තය ලබා ගත්තු කෙනෙකුට, සෝවාන් පල ලද්දෙකයකුට අද නිවන් දකින්න ඕන කියලා එකක් නෑ. එහෙම කියලා එකක් නෑ, අද නිවන තිබ්බත් එකයි. නැතත් එකයි. කෙලින්ම නිවන් දැකලා ඉන්නේ. මං කියන්නේ ලංකාවට කෙලවුණේම අපේ ඉතිහාසය නිසා. ලංකාවේ ඉතිහාසය නිසා අපේ අත්තම්මලා, ලොකු අත්තලා, මෛත්‍රී බුදු හාමුදුරුවෝ ඉපදෙනකන් හිටියානේ නිවන් දකින්ට. නිවන දැම්මේම අනාගතයට නේද? ඇයි ඒ කට්ටිය පින් කරන්නේ? ලබන ආත්මයේ දිව්‍යලෝකේ යන්න නේ. මැරුණට පස්සේ හොඳ තැනකට යන්න හිතන්නේ. මම එහෙම අයට කියනවා, ඔබ මට සල්ලි දෙන්න. මම ඒවා ඔබට ලබන ආත්මේ දෙන්නම් කියලා. එහෙම කිව්වොත් ඔබ ඒකට ok නෑනේ. ඒ වගේ අපි පින් කරන්නේ, කුසල් කරන්නේ, මේ ධර්මය සියල්ලම ලබන ආත්මය සඳහා. මම දන්නේ නෑ මේ භවයට වඩා ලබන ආත්මය එච්චර sure වුනේ කොහොමද කියලා. මම නම් ඒක අනුමත කරන්නේ නෑ. ලබන ආත්මයක් ගැන ඇයි හිතන්නේ, බුදු දහමේ කියනවානේ, බුදු දහම තුළ අන්තර්ගත වෙනවානේ වෙනත් භව ගැන හිතන තණ්හාව වැරදියි කියලා. ඒක මත පදනම් වෙලාම කියන දෙයක් නෙමෙයි. ඇයි ඇත්තටම මොනවා ලැබුණත්, ලබන ආත්මයේ දියුණුව හෝ දිව්‍ය ලෝක පස්සේ යන්නේ? ඕක sure ද? මම නම් කියන්නේ, ඔය generation එකේ අයවත් මේකට පයින් ගහන්න ඕනා කියලා. බණ කිව්වෙ නෑ මහත්තයා. මේක මේ විකුණපු, විකුණගෙන කාපු එකක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ, “අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං” කියලා. ප්‍රමාද වන්නා ජීවත් වුණත් මැරුණ කෙනෙක් වගේ. එහෙම එක්කෙනෙක් කියයිද ලබන ආත්මයේ ගොඩ යනවා කියලා. භවය නැති කරන්න හා භවයට විරුද්ධව ආපු බුද්ධ දේශනාව දැන් ඔය විදියට market කරගෙන යනවානේ. ලබන භවයේ ලැබෙන ඒවා කියන එකත් එක්ක සමාජය ගේම ඉල්ලන්න ඕනේ. ලබන ආත්මයේ මොන දේවල් ලැබුනත් වැඩක්ද? පෙන්නේ නෑනෙ අපට. හැබැයි මේ භවය අපට පේනවා. මේ ජීවත් වෙලා ඉන්න භවයේ සතුට, සැනසීම, නිවීම මුලින්ම තියෙන්න ඕනා. ඇත්තටම බුදු දහමේ අපිට දුන්නේ ඉස්සෙල්ලම නිවීමනේ. මැරුණට පස්සේ නිවන් දකින්න නෙමෙයි බුද්ධ දර්ශනය තුළ කියන්නේ. මේ දර්ශනය ගත්ත තැනේ ඉඳලා එයා නිවන් දැකලා. නිවන හම්බෙන්නේ මැරුණට පස්සේ නෙවෙයි. ජීවත් වෙලා ඉන්න කොට. ඇයි මැරුණට පස්සේ නිවනක් ඉල්ලන්නේ. මුලින්ම ඔබ කාලා බීලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න. එහෙම වත් නැති ජීවිතය මොකටද?
අපේ ලංකාවේ ඉන්න හාමුදුරුවරු ඉන්නේ දුක විකුණගෙන. නීතීඥයන් නඩු විකුණගෙන ජීවත් වෙනවා, දොස්තරලා ලෙඩ විකුණගෙන ජීවත් වෙනවා. හාමුදුරුවරු දුක විකුණගෙන ජීවත් වෙනවා. හාමුදුරුවරු හරි නම් විකුණන්න ඕනේ සැප. සැප තමයි market කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගෙනාවේ සැපනේ. Market කරේ නිවන් සැපතක්, පරම සැපත. සන්තුට්ඨි පරමං ධනං. දැන් හාමුදුරුවරු දුකනේ market කරන්නේ. අපි හැමෝම සතුටින් ඉන්නවා. මේ මොහොතේ ජීවත් වෙන්නේ. අපි අතීතය තුළ ජීවත් වෙන්නෙත් නෑ. අනාගතය තුළ ජීවත් වෙන්නේත් නැ. මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොතේ නිවිලා ඉන්නවා. කුරුල්ලෙක් වගේ. අල්පේච්ඡ භාවය කියලා කියන්නේ සංස්කාරවල අල්ප බව. සංස්කාර අඩු වෙන්න ඕනේ. සංස්කාර අඩු උනාම ප්‍රශ්න ගොඩක් ඉවරයි. ඔබ තුල සංස්කාර වැඩියිනේ. නිකන් ඉන්න බෑ කොච්චර දේවල් හිතනවාද?
බුද්ධ දර්ශනය තුළ කියලා තියෙන්නේ, මේ මොහොතේ නිවන් දකින්න. මේ මොහොතේ සැනසෙන්න. මේ මොහොතේ තනිවෙන්න. මේ මොහොතේ සියල්ල ලබාගන්න. මේ මොහොතේ තියෙන දෙයක්. මේ මොහොතේ නිවන් දැකලා ජීවත් වෙන්න. අපට සසර කියලා, සසර බයක් කියලා, සසර යනවා කියලා එහෙම එකක් නෑ. එහෙම ඉන්න කෙනාට සසරක් නෑ. සසරක් නෑ කියන්නේ මොකක්ද? සංස්කාර නෑ. සංස්කාර වලින් තමයි සසර හට හටගන්නේ. ඔය කට්ටියට නිකන් ඉද්දි සංස්කාර කෝටියක් එනවා. එහි දුවනවා. මෙහේ දුවනවා. ඒ තමයි සසර. ඒ සියලු සංස්කාරයන් තුළින් හටගන්නා සංස්කාර සිතුවිලි නැසෙන සුළුයි. ඔබ දැන් මෙතෙනට එනකොට උදේ නැගිට්ට වෙලාවේ තිබණු සංස්කාරය තියෙනවාද? මෙතනට එනකොට තිබුණු සංස්කාරය දැන් තියෙනවාද? දැන් තත්පරයකට කලින් තිබ්බ සංස්කාරය දැන් තියෙනවාද? නෑ. නේද? අපි සංස්කාර වලට අහුවෙලානේ. මේ දුවන්නේ. එහෙම දෙයක් තියෙන්නේ. ඒ නිසා බුද්ධ දර්ශනය තුළ අපිට කියල දෙන්නේ නිවන් දැක ජීවත් වෙන්න. අන්න එහෙනම් මේ මග ඵල බෝධි චිත්තය ලබා ගත් අය නිවන් දැකලා ජීවත් වෙන්නේ. මහ බෝසතා විවරණය ලබපු තැන ඉඳලා නිවන් දැකලා ජීවත් වුණේ. ඒ නිවන සත්වයාට කියල දෙන්න තමයි ආවේ. අද පිරිනිවන් පාන්න ඕනා කියලා එකක් නෑ. නිවන් දැකලා ඉන්නේ. මම කියන්නේ ඔබත් නිවන් දැකලා ජීවත් වෙන්න කියලා. ඒක දිව්‍ය සැප, සියලු සැප වලට එහා දෙයක්. නිවන් දැකලා ජීවත් වෙන්න.
ඔබ යම් දෙයක් දුකක් කියලා පෙන්නලා දුන්නොත්, මට ඒක දුකක් නෙමෙයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඔබතුමිය හිතෙනවාද ඔබතුමියට ලෙඩ හැදෙන්නැති වෙයි කියලා. හැදෙනවනේ. අපි බලාපොරොත්තු නොවී හිටියට අපිට ලෙඩ හැදෙනවා. එතකොට reality එක තමයි, ඔයා බලාපොරොත්තු වෙන්නේ නෑ, නමුත් ඔයා දන්නවා අනිවාර්යෙන් ලෙඩ වෙන්න ඕනා කියන එක. කය කියන්නේ තනිකර ලෙඩ ගොඩක්නේ. කට්ටිය දන්නෙ නෑ ලෙඩත් එක්ක පොඩි ආතල් එකක් ගන්න. මම නම් ලෙඩත් එක්ක හොඳ ආතල් එකක් ගන්නවා. මට කැන්සර් එකක් තිබ්බා කියලා හිතන්නකෝ. Cancer එක තියෙන නිසා මම දුක් වුණා කියලා හිතන්නකෝ. දුක් වුණා කියලා Cancer එක හොඳවෙනවාද? මම දැන් ලෙඩින් ආතල් එකක් ගන්නවා. මම ඒක ඉගෙන ගත්තේ, මට ඉස්සර ගිහි කාලේ බයික් එකක් තිබුණා. බයික් එකේ නුවරඑළියේ යද්දී හැටන්, තලවකැලේ, පැතිවල යනවා. එහෙම යද්දී, මං බයික් එක අරන් එළියට බැස්සද ඒ ගොඩක් වෙලාවට වහිනවා. මුලදී මේකට මට පුදුම තරහක් මං ගැනම ආවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා මට තරහක් ආවා. මම දිහා බයික් එකේ යන ගමන් පොඩ්ඩක් බලා ගෙන ගියා. එක පාරට මම දන්නෙ නෑ කොහෙන්ද මේ කියන දේ ආවේ කියලා. අනිත් අයට මේ ආතල් එක නෑනේ. මම හොඳට වහිද්දී, සිංදුවක් කිය කියා, වෙලාවකට කෑ ගහමින් බයික් එකේ යනවා. එකෙන් තමයි පුරුදු වුණේ, ඕනම එකක් මම ආතල් එකට ගන්නවා කියන එක. Negative මොනවා හරි වෙනකොට ඒකට දෙන shot එක තමයි, මම ඒක ආතල් එකක් විදියට ගන්නවා. මම ලෙඩක් වුනත්, ඒකෙන් ආතල් එකක් ගන්නවා. මට වෙන කරන්න දෙයක් නෑනේ. උණු වතුරට උණු වතුර දාලා හරියන්නේ නෑනෙ. නිවෙන්න ඇල්වතුර දාන්න ඕනනේ. ඒ නිසා ඕනෑම කාරණයක්, ලෙඩක් හැදුනත්, මං පට්ට ආතල් එකක් ගන්නවා. වෙන කරන්න දෙයක් නෑනේ. ඇත්තටම වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසා පට්ට ආතල් එකක් ගන්නවා. වැඩ enjoy කරන්න. ප්‍රශ්නයක්, දුකක්, ආවා කියලා හිතන්නකෝ දුක් වුණා කියලා ප්‍රශ්නයක් විසඳෙනවා නම් දුක් වෙන්න. හැබැයි දුක් වුණා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැත්නම් අපරාදෙනේ දුක්වෙලා.
උපුල්: අපිට දෙයක් වුණහම දුකක් නෑ කියලා හිතන්න බෑනේ. ඒකෙන් වේදනාවක් එනවනේ. ඒක තේරුම් ගන්නේ කොහොමද?
මහඟුරු : ඒක තේරුම් අරගෙන හරියන්නෙ නෑ. කරන්න දෙයක් නෑ ඒකට. ඒක ඔයා accept කරන්න. සමහර දේවල් තියෙනවා accept කරන්න ඕන දේවල්. උදාහරණයක් විදියට ඔබට බිරිඳක් ඉන්න නිසා මං ඔබට මෙහෙම කියන්නේ. Wife බොහෝ විට ටිකක් වැඩියෙන් කියවන කෙනෙක් තමයි. ඒක ඔයා නතර කරන්න යන්න එපා. ඒක accept කරන්න. සමහර situation ඔයා accept කරන කොටම ප්‍රශ්නය ඉවරයි.
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27
මිරැකල් - You are a miracle in Billiions of miracles
2025-03-06