අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
ඔබ ගුරුවරයා වන්න
2025-04-09
2024 සැප්තැම්බර් 10 දින.
“ඔබ ගුරුවරයා වන්න”
“ඔබ ගුරුවරයා වන්න”
“ඔබ ගුරුවරයා වන්න”
මහා පරිමාණයෙන් ලෝකයම ආක්‍රමණය කරමින් භයානක වෛරසයක් පැතිරී යයි. මිනිස් සංහතියම ඒ වෛරසයෙන් බේරෙන්නේ කෙසේදැයි සොයමින් දිවයති.
ආධ්‍යාත්මිකයෙක් ඒ මිනිසුන් වෙත පැමිණ මෙසේ පවසයි.
“ඔබ මාව විශ්වාස කරන්න. මම ඔබව වෛරස් එකෙන් බේරාගන්නම්”
නමුත් ඒ සිහිවිකල් වී දිවයන මිනිසුන් ඔහු පවසන දේට අවධානයක් යොමුකරන්නේ නෑ.
ඉන්පසු සිදුවන්නේ කුමක්ද?
අර ආධ්‍යාත්මිකයා වෛරස් එක බවට පත්වෙනවා. දැන් මිනිස්සු ඔහු කියනදේ අහන්න පටන් ගන්නවා.
වෛරස් එක විදියට පෙනීසිටියාම මිනිස්සු ඔහු කියනදේ අහනවා. නමුත් ඇත්තටම ඔහු වෛරස් එක නෙවෙයි. වෛරස් එක විදියට පෙනී සිටියාට, ඔහු ඇත්තටම කරන්නේ වෛරසය විනාශ කිරිමයි.
“ඔබ ගුරුවරයා වන්න” කියලා පණිවිඩයක් ඔහුට ඇසෙන්න පටන් ගන්නවා. නමුත් ඔහු ගුරුවරයෙක් වෙන්න කැමති නෑ. ගුරුවරයා වන්න කියමින් නිතර ඇසෙන ඉල්ලීම සමග පොර බදිමින් කාලයක් ගතවී යනවා.
“නමුත් එහෙම නොවී මිනිස්සුන්ව බේරාගන්න බෑ නේද?”
ඉල්ලීම තවමත් වෙනස් නොවී ඔහු වෙතම පැමිණේ.
අවසානයේ ඒ ඉල්ලීම ජයගන්නවා.
“ඔව්. ගුරුවරයෙක් වෙන්න ඕනා.” කියලා ඇතුළාන්තයෙන් ඔහු ඔහුටම කියනවා. ඔහු පැවසූ ඒ වචනය ඔබ ගුරුවරයා වෙන්න ඕනා කියලා ඔහු වෙත පැමිණි ඉල්ලීම පිළිගත්ත බවට ප්‍රතිචාරය වෙනවා.
ඔබට ඇපල් ගෙඩියක් පෙන්නලා “මේ ඇපල් ගෙඩියක්” කියලා කිව්වොත් එහෙම, ඒක ඔබට ඇපල් ගෙඩියක් කියලා තමයි හිතෙන්නේ. ගහක් පෙන්නලා “මේ ගහක්” කියලා කිව්වොත්, ඒක ගහක් කියලා ඔබට හිතෙනවා. හැබැයි කවදාවත් ඔබට එය ව්‍යාවහාරක් පමණයි කියලා හිතෙන්නේ නැහැනේ. ඒක තමයි බොරුව කියන්නේ. අපි දැන් හරි, වැරදි, ඇත්ත, නැත්ත, සත්‍ය, අසත්‍ය තේරෙනවා කියලා හිතෙනවානේද?. එතනම තමයි අපේ තියන නොතේරෙනකම. රතු පාට පෙන්නලා රතු පාටයි කියනවා. රතු පාටයි කියලා මනසේ කොහේ හරි තැනක මොකක් හරි ක්‍රමයකට තැන්පත් කරපු නිසානේ ඒක රතු පාට වුනේ. නැත්නම් රතු පාට නෙවෙයිනේ. හැබැයි මනසේ තැන්පත් කරපු රතු පාට සත්‍ය කියලා හිතා ගෙන ඉන්නවානේ. එහෙම සත්‍ය යැයි හිතාගෙන ඉන්න ගොඩකට අහු වෙලා ඉන්න නිසා සත්‍යය කවදාවත් අපට පේන්නේ නැහැ. සත්‍ය කියන දේ අපේ ඇතුලේ අසත්‍ය ආකාරයට ස්ථාපිත වෙලා තියන නිසා සත්‍ය පේන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපේ හිත දිහා බැලුවොත් මොහොතින් මොහොත අපේ හිත තුල පහල වෙන සිතුවිලි, එහෙම නැත්නම් අපිට හිතෙන දේවල් අපේ ලෝකයේ පහල වෙන්නේ ඇත්ත විදියටනේ. එතකොට මේ හිතෙන දේවල් තමන්ට ඇත්ත කියලා පහල වෙනවා. බොරු කියලා පහල වෙන්නේ නැහැනේ. තමන්ට හිතෙන දේවල් ඇත්තනේ. අපිට හිතෙන දේවල් අපි ඇත්ත කියලානේ ගන්නේ. ඒ තරමට අපි ඒ බොරුව ඇත්ත කරගෙන ඉන්න පුරුදු වෙලා. අපි මේ හිතෙන දේවල් ඇත්ත නෙවෙයි. ඒක හිතුනු දෙයක් විතරයි. දැන් මේ මොහොතේත් ඔබට එක එක දේවල් හිතෙනවානේ. හැබැයි ඒ හිතුනු දේ සත්‍ය කියලා හිතාගන නේද එතනින් එහාටත් කල්පනා කරන්නේ. හැබැයි එය හිතුනු දෙයක් කියලා තේරෙනවා නම් සංස්කාර පද්ධතිය නතර වෙනවා.
ගඟක් කියන්නේ බිඳි බිඳී යන එකක්නේ.. එය ඒකාකාරී නැහැ. ඒ වගේ තමයි හිතත්. ගඟක් වගේම හිතත් බිඳි බිඳී තමයි හට ගන්නේ. එකදිගට පවතින දෙයක් නෙවෙයි. නමුත් කුමක් හෝ හේතුවකට අපේ හිත තුල මේ බිඳි බිඳී හට ගන්නා සිතිවිලි ගඟ, ඒ සංස්කාර සදාකාලිකයි වගේ දැනීමක් එනවා. ඒක හින්දා තමයි මේ සත්වත්වයට අහුවෙලා ඉන්නේ. උකුස්සාට පෙනෙන්නේ එක විදිහකට. පූසාට පෙනෙන්නේ තව විදියකට. නයාට පෙනෙන්නේ තවත් විදිහකට. අපිට පෙනෙන්නේ අපි හිතා ගත්ත විදියට. අපිට කවදාවත් ඇස් දෙකෙන් හරියට පේන්නේ නැහැ. බැලුවහම අපිට හිතෙන දේ තමයි බලන්නේ. කඩයකට ඇඳුමක් ගන්න ගියාම, ඇඳුම දකින කොටම ඇතුලේ තියන විඥානය මතු වුනාම, ක්ෂණයෙන් අපි ඒකට අහු වෙනවා. මේ System එක තුල සත්වයා අහුවෙලා ඉන්නේ. තමන්ට හිතෙන දේ මුලාවක් කියන එක පවා මුලාවක්. මුලාවක් කියලා හිතාගත් එක තවත් මුලාවක්. මිනිස්සු කොච්චර දේවල් නම් හිතාගෙන ඉන්නවද, ජීවත් වෙනකොට. එතන තමයි මේ ජීවිතයේ අවුල තියෙන්නේ. ඒ සංස්කාර විශ්වාස කරනවා. ඒ එක සංස්කාරයක්වත් කාගේවත් පවතින්නේ නැහැ. අපේ තියන සංස්කාර අපි විශ්වාස කරනවා. නමුත් කාගේවත් සංස්කාර පවතින්නේ නැහැ. තමන්ගේ සංස්කාරවල තමයි සසර තියෙන්නේ. සංස්කාර වලින් මිදුනා කියන්නේ සසරෙන් මිදුනා කියන එකයි. සියළු සංස්කාර වලින් මිදෙනවා කියන්නේ මොකක්ද? තමන් හිතෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ. ගඟත් ඔරුවත් දෙකම මායාවක්. තමන්ට හිතෙන තමන්ගේ ලෝකයේ පහල වෙන සිතුවිලි කියන්නේ සත්‍යය නෙවෙයි. ඒවා අන්ධ ලෙස විශ්වාස කරන්න එපා.
මායාවක් කියලා දකින එකක් මායාවක්. අපි මොනවාහරි Condition වලට අහු වෙනවා. මුලාව කියන්නේ මුලාවක් කියලා තේරුම් ගන්නවා. මුලාව කියලා තේරුම් ගත්තේ මුලාවක්. ඒ අවබෝධය, ඒ Awareness එක ආවා නම් ආයෙත් සිතුවිලි වලට අහු වෙන්නේ නැහැ. ඔබ සංස්කාර පද්ධතියෙන් සම්පූර්ණයෙන් මිදුනාම ඇත්තටම බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් කියලා දෙයක්වත් ඔබගේ සංස්කාර ලෝකය තුල නැහැ. බුදුවරයෙක්ගේ සංස්කාර ලෝකය කොච්චර අතහරිනවද කිව්වොත් සංස්කාර ලෝකය පිරිනිවන් පානවා. කොච්චර අතහරිනවාද කිව්වොත්, බුද්ධ කියන එක, ධම්ම කියන එක, සංඝ කියන එක, මේ මොහොතේ හිතෙන එක, දැනෙන එක, සිතුවිල්ල කියන එක, මම ඉන්නවා කියන එක, මොකක් හරි හැඟෙනවා කියන එක ඒවා සියල්ල අතහැරගෙන ගියාම ඒ සංස්කාර පිරිනිවිලා යනවා. ශුන්‍යත්වය කියලා එකකුත් නැහැ. ශුන්‍යත්වය කියන එකත් සිතුවිල්ලක් තමයි. එයා ඒකත් සිතුවිල්ලක් විදිහට ගන්නවා. පිරිනිවීම කියන එකත් සිතුවිල්ලක් කියලා දකිනවා. අචින්ත්‍යයකට ගියා වගේ. ඒකට තමයි අනුලෝමව ප්‍රතිලෝමව බලනවා කියලා කියන්නේ. එතන සිතුවිල්ලේ මුලට යනවා. සිතුවිල්ලේ අගටත් යනවා. සිතුවිලි සියල්ලම අවුස්සමින් දකිමින් ගිහිල්ලා අනන්තයටම දකිනවා. ඒක එක පැත්තක්. ඊට පස්සේ සිතුවිලි කියන එක මුලාවක් බව තේරුම් ගෙන ගිහිල්ලා පරතෙරටම ගිහිල්ලා ඒක නැති කරලා දානවා. එය චිත්ත පාරිශුද්ධත්වයට පත් වෙන තැනක්. චිත්ත පාරිශුද්ධත්වයට පත් වෙලා සංස්කාර පිරිනිවිලා යනවා. එදායින් පස්සේ එයාට ආයෙත් සංස්කාර නැහැ. එතකොට මොකක්ද පහල වෙන්නේ කියලා ඇහුවොත් එහෙම මොකුත් පහල වෙන්නේ නැහැ.
බල්බ් එකක පිලමන්ට් එක පිච්චිලා ගියාම ආයෙත් පිලමන්ට් එක එන්නේ නැහැනේ. ඒවගේ තමයි සංස්කාර පිරිනිවී ගිය කෙනෙකුට හිතලා කථා කරන්න බැහැ. ඔබලා හිතලානේ කථා කරන්නේ. සංස්කාර පිරිනිවෙච්ච කෙනෙක් කෙලින්ම කථා කරනවා. හිතලා කථා කරන්න ගියොත් කතා කරන්න අපහසුයි. බැරි නැහැ පුලුවන්. අපහසුයි. ඒක කෘතීමයි. ඒ කියන්නේ ඒක බලෙන් කරන එකක් වගේ. ඒවගේ හිතලා කතාකරන සමහර තැන් ගතියෙනවා, සම්මුති ලෝකයට අදාල කාරණා හෝ ගැටළු සහගත අවස්ථා වලදී.
සංස්කාර පිරිනිවුණු කෙනෙක් ගේ කතාව හරියට රෝදේ කැරකෙනවා වගේ තමයි. රෝදේ හිත හිතා කැරකෙන්නේ නැහැනේ. එක දිගට කැරකීගෙන යනවානේ. එහෙම කථා කරන ඒවා තමයි තියෙන්නේ. සංස්කාර පිරිනිවුනහම හිතලා කථා කරන්න බැහැ. අපි මෙහෙම හිතමු. හිතුවා කියමුකෝ, හිතුවා කියන එක ගත්තම ඒ වෙලාවේ හිතුවා තමයි. හිතට කථා කරන්න ආවම හිතපු එක නෙවෙයි කථා කරන්නේ. වෙන එකක් කථා කරන්නේ. ඔය හිතුනා කියන එක තවත් එක ක්‍රියාවක් විතරයි. ඊට පස්සේ කථා කරන්න ඇවිල්ලා කථා කරන්නේ වෙන එකක්. ඒ හිතිච්ච දේ ඒ මොහොතේ නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි.
ඒ වගේ තව දෙයක් තියනවා, ඒ තමයි විඥානයේ පිරිනිවීම. විඥානය කියන දේ අචින්ත්‍යයට දැකලා විඥානය පිරිනිවෙනවා. විඥානය පිරිනිවුනට පස්සේ තමයි එයාට මේ ලෝකයේ හදුනා ගැනීමේ හැකියාව නැතිවෙලා යන්නේ. මම මේ කථා කරන වචනයක් වවනයක් පවා ඔබලා හදුනා ගන්නවානේ. දැන් අපි වඩේ එකක් කෑවා. ඒක කනකොට හදුනා ගන්නවා. වඩේ කිව්වහම හදුනා ගැනීමක් තියනවා. තේ එක බොනකොට හදුනා ගන්නවා. හැමවෙලේම අපි හදුනා ගැනීම් තියනවානේ. හදුනා ගැනීම මතමනේ ජීවත් වෙන්නේ. ඔබලා හදුනා ගත්ත දේවල් විශ්වාස කරලත් තියනවානේ. පුතා වෙන්න පුළුවන් එහෙම නැත්නම් නෝනා වෙන්න පුළුවන්, කුමක් හෝ හදුනා ගැනීමක් විශ්වාස කරලා තියනවානේ.
විඥානය පිරිනිවුනට පස්සේ හඳුනා ගැනීමක් නැහැ. අපි මෙහෙම හිතමු. ඔබ අසල මේ වෙලාවේ ඉන්නවා කවුරු හරි ඔබ හඳුනන කෙනෙක්. ඊට පස්සේ එයා එළියට ගිහිල්ලා ටික වෙලාවකින් නැවත ආවොත් ඒ කෙනාවම නේද ඔබ ආයෙත් හදුනා ගන්නේ. විඥානය පිරිනිවුණු කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ. මෙහෙම හිතන්න. දැන් ඔබ එවැනි කෙනෙක් එක්ක මෙතන කථා කර කර ඉන්නවා. ඒ කතා කරද්දී ඔබ රහත් නැහැ. ඔබ ඊට පස්සේ එළියට ගිහිල්ලා එනවා. ඒ අතර ඔබ රහත් වෙලා කියලා හිතන්න. එතකොට අර විඥානය පිරිනිවුණු කෙනා රහතන් වහන්සේව තමයි අඳුරගන්නේ. රහත් කියලා හදුනා ගෙන තමයි කතා කරන්නේ. අපි විඥානයේ පරණ මතකයත් එක්කනේ සදාකලිකව ජීවත් වෙන්නේ. අපිට කොච්චර නම් තියනවාද පරණ අතීත මතකයන්. පරණ ඇන්ද ඇදුම් වගේ. අපි තනිකර ජීවත් වෙන්නේ පරණ ඒවා තුලනේ. අර හරකා වමාර වමාරා කනවා වගේ. අපි පුරුදු වෙලා තියෙන්නේ අතීතය වමාර වමාර කකා ඉන්න. ඒකට අහුවෙලා ඉන්නේ. වමාරා කන එකේ වින්දනයට. දුක හෝ සතුට මේ ඕනම දෙයක් අපි අතීතය වමාරාකමින් තමයි ජීවත් වෙන්නේ. විඥානය පිරිනිවුනට පස්සේ මනස තුල යම් සංස්කරණයක් සිද්ධ වෙනවා. නමුත් ඒ මොහොතේ, ඒ දකින දේ ඒ ඒ සිද්ධිය තමයි විඳින්නේ. අතීතයක් තුල විඳින්න බැහැ.
ඔබේ ජීවිතයට Tools එකතු කර ගන්න.
දහමේ ඉන්නවා කියලා කියන්නේ බණ අහලා ඔලුව පුරවගෙන ඉන්න එක නෙවෙයි. දහමෙදි කියලා දෙන්නේ Tools. සංස්කාර හා විඥාන ගැන මේ කරපු පැහැදිලි කිරීම තුලත් Tools තියෙනවා. සංස්කාර විශ්වාස කරන්න එපා කියලා. ඒක කෙනෙකුට හරියට Touch වුනා නම්, Feel වුනා නම්, එයා මොනවා හරි හිතුනහම, මේ මම තුල පහල වුනු සංස්කාරයක්නේ. මේ සංස්කාරය ඊලඟ මොහොතේ නැහැනේ. මා තුල කොච්චර සංස්කාර ඇතිවෙලා තියනවාද, මේ ජීවිතය තුල. දැන් කෝ ? එකක් වත් නැහැනේ… මේ විදියට ඒක හරියට අවබෝධ වෙලා ඒක එයාගේ Tool එකක් බවට පත් වෙනවා. එතකොට මොනවා ආවාත් එයා අතහැරලා දානවා. එක Tool එකයි ඕනා හරියට ධර්මය අවබෝධ කර ගත් කෙනෙකුට. එක Tool එකක් තිබුනොත් ඇති. මිනිස්සු ධර්මය කියන එක අර වස්ත්‍රයක් වගේ පොරවගෙන ඉන්න තමයි උත්සහ කරන්නේ. එහෙම එකක් නැහැ. දහම විදිහට උගන්වන්නේ Tools. නමුත් බොහෝ අයට තේරෙන්නේ නැහැ Tool එකක් විදිහට ගන්න.
ගුරුවරයා වන තෙක් පැමිණි ගමනේදී පාවිච්චි කළ tools ගැන මහගුරු විසින් පැවසූ සඳහනක්:
“මම මේ අවුරුදු 25 ක් පමණ කාලයක් තුල මේ ධර්ම මාර්ගයේ ඇවිත්, භාවනා කරලා බොහෝ දේවල් අවබෝධ වෙලා තියෙනවා. හැබැයි මා ගාව ඒ කාලේ කරපුවා, මම මෙච්චර භාවනා කලා, මෙච්චර අවබෝධ කලා කියලා එහෙම මොකුත් නැහැ. මා ගාව Tool තුනක් තියෙනවා එච්චරයි. මා ගාව වෙන මොකුත් නැහැ.
දැන් ඔබලාගේ ගෙදර දෙරවල්, ජනෙල් තියනවා. ඒ නිසා මදුරුවෝ එන්නේ නැහැනේ. ගෙදර මායිමක් තියෙනවා; හතුරෝ එන්නේ නැහැ. ඒවා සියල්ලම Tool තමයි. මගේ ජීවිතයේ Tools තුනයි තියෙන්නේ. ඒ තමයි ස්වාධීනත්වය, මට අදාළ නැහැ කියන එක සහ සතුටින් ඉන්න කියන දේ. මගේ සතුට කිසිම භාහිර සාධකයකට මම නැති වෙන්න දෙන්නේ නැහැ. ඒ Tools කාලයෙන් කාලයට Update වෙනවා.
එතනදී තමන් පාවිච්චි කරන Tools ටික තමන්ම තමයි හදුනා ගන්න ඕනා. මොකද මම පාවිච්චි කරන Tool එක මට දැන් අතහැරිලා වෙන්න පුලුවන්. නමුත් ඒ tool එක ඔබට උපකාර වෙන්න පුලුවන්. හැබැයි සමහර විට ඔබට ඒ tool එක අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. කාලයක් පාවිච්චි කරලා ඊට පස්සේ විමර්ශනය කරලා දැන් ඒක අවශ්‍ය නෑ කියලා අතහරින්න හැකි වෙන්නත් පුලුවන්.
උදාහරණයක් විදිහට බාහිර ලෝකයේ තියෙන කිසිම දෙයක් මට අදාල නැහැ. ඒක මගේ තියන Tool එකක්. මේ කිසි දෙයක් මට අදාල නැහැ. එතකොට මට අදාල නැහැ කියන එක මම අවබෝධයෙන් ගොඩනගාගත්ත මගේ Tool එකක්. එතකොට අපි හැමෝම ගාව Tools තියෙන්න ඕනා. දහම කියන්නේ Tools ටිකක් තමයි. ඔබ හරියට බණ අහපු කෙනෙක් නම් ඔබට Tools අහු වෙන්න ඕනා. Tools අහුවෙන කොට තමයි ඔයා Tools වලට හුරු වෙන්නේ. ඉස්සෙල්ලා Tools පේනවා. ඊට පස්සේ තමයි Tools වලට හුරු වෙන්නේ. එතකොට Tools Automatically එනවා. දැන් ඔබ Driving ඉගෙන ගනිද්දී සිග්නල් දාන්න, ගියර් දාන්න, වයිපර් එක දාන ඒවා හිතලානේ කරන්නේ. හැබැයි හුරු වුනාට පස්සේ අපි නිකම් අතින් Touch එකක්නේ දාන්නේ. Driving කරන අතර Call එකක් ආවත් කථා කරන්න පුලුවන්නේ. එපැයි? Tools ටික හුරු වෙලා නිසා.
ඔබට වැදගත් විය හැකි තවත් tool එකක් තමයි මතකයේ තියන දේ උඩට ආවම ඔබ එකපාර ඒවාට ප්‍රතිචාර දැක්වීම නතර කරන්න. ඕනම කෙනෙක්ට තුවාල තිබෙන්න පුලුවන් හිත ඇතුලේ. ඒක සාමාන්‍ය දෙයක්. අවුරුදු 30 ක් 40 ක් පාරේ දිව්ව වාහනේකට අනතුරක් නොවී තියෙන්න විදිහක් නැහැනේ. හැමෝටම එහෙම තමයි. සෑම මනුෂ්‍ය ජීවිතයකටම, ලෝකයේ ඉන්න කෝටිපතියෙකුගේ වුනත් එහෙම දේවල් තිබෙනවා. එහෙම අයව පවා අඬවන්න පුලුවන් කාරණා තිබෙනවා. ඒක එහෙම වෙන්න ඕනා. එහෙම නොවන තාක් කාලයක් කාටවත් මේ ජීවිතය කියන එකේ යථාර්ථය තේරෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දුන්නු තෑග්ගක්. ඒ රිදවීම යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුල නැද්ද එයාට දෙවියන් වහන්සේ මුණ ගැසිලා නැහැ. මොකද එදායින් පස්සේ තමයි මේ ලෝකයේ යථාර්ථය කියන දේ තේරෙන්න පටන් ගන්නේ. එයා ජීවත් වෙන්න පටන් ගන්නේ එතනින් එහාට තමයි. ඒක එහෙමම තමයි. දෙවියන් වහ්න්සේ හැමෝටම දෙන තෑග්ග ඒක තමයි. එතනින් එහාට එයාගේ ජීවිතය වෙනස් වෙනවා. එතනින් එහාට තමයි එයා Positive වෙන්නේ. Positive වෙනවා කියලා කියන්නේ කාලා බීලා විනෝදෙන් ඉන්න එක නෙවෙයි. අධ්‍යාත්මික පැත්තට යොමු වෙන එක. ජීවිතය මීට වඩා ධනාත්මක විදිහට දකින්න පටන් ගන්න. ඒ දෙවල් වුනේ නැත්නම් අද ඔබට මේ මොහොතේ මේ කතාව හමුවෙන්නේ නෑ. දැන් කිසා ගෝතමීට පටාචාරාට ඒ වගේ තමයි. ඒ තෑග්ග නිසා තමයි ඒ අය නිවන් දැක්කේ. නැත්නම් ඒ අය නිවන් දකින්නේ නැහැ.
අතහරින්න පුලුවන් දේවල් තියනවා. රාගය කියන කාරණා අතහරින්න. එතකොට මෝහය කියන එක නැති කරන්න තියෙන්නේ අවබෝධයෙන්. අකුසලය නැති කරන්න තියෙන්නේ කුසලය කියන එකෙන්. බැදීම් කියන දේවල් නැති කරන්න බැහැ. බැදීම් කියන කාරණා කළමනාකරණය කරගනිමින් විසඳගන්න ඕනා කාරණා. බැදීම් කළමනාකරණය කරන්න. මම කරුණු 2 ක් කියනවා. මෝහය අවබෝධයෙන් නැති කරන්න ඕනා. රාගය කියන එක අතහැරලා දාන්න. ඇඳුම් වලට, කයේ පැවැත්මට, ඉන්න තැනට වෙන්න පුලුවන් ඔබේ රාගය අතහරින්න. ඒකට වෙන ක්‍රමයක් නැහැ. මෝහය අවබෝධයෙන්. රාගය අතහැරීමෙන්, අකුසලය කුසල් කිරීමෙන් ප්‍රහීණ කළ හැකියි.
බැඳීම් එක්ක එන ප්‍රශ්න කථා බහ කරලා විසඳගන්න ඕනා. බැදීම් කියන දේ ගැටුමක් තියාගෙන පවත්වගන්න බැහැ.
උදාහරණයක් ගත්තොත් කෙනෙක් පැවිදි වෙන්න ඉන්න කොට අම්මා, තාත්තා, ගෙදර අය ගිනි ගන්නවා නම් එයාට ඇවිල්ලා පැවිදි වෙලා සතුටින් ඉන්න ඉන්න බැහැ. එතකොට එයාගේ ඇතුලේ පීඩනයක් ඇතිවෙනවා. ඒ නිසා ඒ අයට කථා කරලා, ඒක තේරුම් කරලා, ඒක විසඳාගන්න ඕන. බැඳීම් කියන දේ විසඳා ගන්න ඕනා. එතකොට අපි නිදහස්. මොකද බැඳීම් කියන දේවල් අපිට කර්මානුරුපීව ගැටගැසිලා තියන දෙවල්. අම්මා හෝ තාත්තා මොනවා හරි අසනීපයකට Hospital අරගෙන ගිහිල්ලා තව පොඩ්ඩෙන් මැරෙයි කිව්වොත් එහෙම මොකද කරන්නේ?. ඒඅය මේ භවයේ අම්මා තාත්තා විරතයිනේ. මට අතහැරලා දාලා ඉන්න පුලුවන්. නමුත් ඒක සදාචාරාත්මක නැහැ. එතකොට දැන් හරි මට පුලුවන් නම් මම යන්න ඕනා. ඒක මම කරන්න ඕනා. මොකද ඒවා විසදගන්න ඕනි දේවල්. මේ භවය කියන්නේ අපේ මේ Program එකනේ. ඔබගේ අම්මා, තාත්තා, දරුවෝ, විවාහ වෙලා ඉන්න කෙනා, ඥාතීන්, රැකියාවක් කරන එක, ඔබගේ දැනුම, ඉගනගන්න එක, මේ භාවයේ ඔබගේ Program එකනේ. ඒ Program එක තුල තමයි බැඳීම් කියන ඒවා තියෙන්නේ. ඒ Connection අතහැරලා දානවා කියන එක මනසින් හිතලා කරන්න බැහැ. Disconnect කරන්න යවකොට Connection එක තව වැඩි වෙනවා. ඒක එහෙම තමයි. එතකොට ඒ සම්බන්ධය තියෙන්න හරින්න. සම්බන්ධය ප්‍රශ්නයක් කර ගන්න එපා. ඒක විසඳා ගන්න මානුෂිය කාරණා මත, ගුණධර්ම මත පිහිටලා ඒක කරන්න.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27